Showing posts with label ඔහේ ලියවෙන කතා. Show all posts
Showing posts with label ඔහේ ලියවෙන කතා. Show all posts

May 12, 2016

රාජ්- අවසාන කොටස


"ඔය බඩේ රිදිල්ල එච්චර හොඳ එකක් නෙමේ, දොස්තර කෙනෙකුට පෙන්නුවොත් නරකද?"
පිටර්,රාජ්ගෙ සගය, හැම වෙලාවෙම සිය උදර මිරිකගෙන වේදනාවෙන් ඇඹරෙන  රාජ් දිහා බලාගෙන කියපු කතාව.


රාජ්ට යන්නතමට සිහිය එනකොට හැමදෙයක්ම බොඳ වෙච්ච චායාවක් වගේ මතක්වෙන්න ගත්ත.ඔහුට ඇතිවෙච්ච උදරයේ වේදනාවත් එක්ක සිහිනැතිවෙලා බිම ඇවැටුනු හැටි.ඔහුව ගිලන් රථයක දාමාගෙන රෝහලට අරගෙන ආපු හැටි.මේ සියල්ලම ටිකෙන් ටික ඔහුගෙ මතකයට ගලාගෙන ආව.


"රාජ් ඔයාට ඔපරේශන් එකක් කරන්න උනා.ජීවිතේ ලොකු අවධානමක තිබුනෙ. රිපෝට්ස් ආවම අපි බලමු මොකද වෙන්නෙ කියල."


ඒ වාට්ටුව භාරව රාජකාරිය කරපු ප්‍රධාන වෛද්‍ය තුමා දවස් දෙක තුනකට පස්සෙ සම්පූර්ණයෙන් සිහිය ලැබිච්ච රාජ්ව අමතල කියපු කතාව.


සති කිහිපයකට පස්සෙ රෝහලෙන් නිදහස් වෙච්ච රාජ් ආපහු සිය නිවසට ආව. ඒ එන කොටත් පාසැලේ ගුරුවරු සහ ශිෂ්‍යයො  බොහෝ දෙනෙක් ඔහුගෙ නිවසට ඇවිත් හිටිය. හිස් අතින් ම නෙමේ. තෑගි බෝග, කෑම වර්ග නිවස පිරෙන්න.මෙතක් කාලයක් කාටවත් නොකියා ආරක්ශා කරපු දෙයක් එදා මුළු පාසැලම දැනගත්ත. ඒ රාජ්ගෙ පුංචි දුවගෙ රෝගීභාවය.

"මේ මනුස්සය මෙච්චර දෙයක් තියාගෙන අපිට නිකමට වත් කිවුවෙ නෑ.එයාටත් කැන්සර් එකක් කියල දැනගත්තම කොහොම දාරාගනීද කියන එක හිතාගන්න බෑ."
ඒ පාසැලේ බොහෝ ගුරුවරු කතා වෙච්ච දෙයක්.
  
                    ...........................................................................................
නත්තල් නිවාඩුව ඉවර වෙලා ආපහු පුරුදු විදියට රැකියාවට ගියත් වෙනට දකින රාජ්ගෙ මුහුණ ඒදා දකින්න ලැබුනෙ නෑ.දින දෙක තුනක්ට පස්සෙ කෙටි පණිවිඩයකින් මම ඔහුව මතුව.


“රාජ්.
සුභ අලුත් අවුරුද්දක් වේවා! මොකද වැඩට එන්නේ නැත්තෙ? හැමදේම හොඳින් ඇති කියල හිතනව.
දිනේෂ්.”


වැඩි වෙලාවක් යන්න කලියෙන්ම දැනගන්න ලැබිච්ච නරක ආරංචිය නිසා,මගේ පණිවිඩයට පිළිතුරු නොලැබීමට හේතු හොයන්න  මට තිබ්බ වුවමනාව නැතිවෙලා ගියා.
රජ්ගේ කුඩා දියනිය තාලියා!  එයා රාජ්වයි, එයාගෙ අම්මවයි දාල මේ ලෝකෙන් යන්න ගිහින්. සදහටම.

මුලු පාසැලටම මේක දරාගන්න බැරි ප්‍රවෘත්තියක් වුනා.රාජ්ගෙ කුඩා දියනිය වෙනුවෙන් කණගාටුව පළකරල  ලියවිච්ච කාඩ් පත් වලින් ඔහුගෙ කාර්යාලය පිරෙන්න ගත්ත.පාසැලේ විදුහල්පති තුමා මුළු ඉස්කෝලෙම ගුරුවරු එක්ක තාලියාට අවසන් ගෞරව දක්වන්න එකතු උනා. එදා හැමෝම ශෝක වෙච්ච දවසක්.සුසානභූම්යේ සිය දියනිය නියමවෙච්ච පුංචි ඉඩ දිහා බලාගෙන, ජීවිතේ පිළිඹඳ බොහොම අවිනිශ්චිත බැල්මකින් ඇස්දෙක පුරෝගෙන රාජ් තාලියාට සමුදුන්න.

මේක ඇත්ත කතාවක්! නම් ගම් ඇරෙන්න.

Apr 8, 2016

රත්න ශ්‍රී දුටුවෙමි..

හු ගැන ලිපි ලිවීමට, උසස් පෙළට ගණිතය හදෑරූ මට දැනුම නැතිවුවත්, දැන හෝ නොදැන ඔහුගේ පන්හිඳට ඇලුම් කළ බව නම් සත්තය.මේ කියන්න යන කතාව රත්න ශ්‍රී විජේසිංහ ගැන නොව ඔහුගේ නිහතමානී කම හා අද හැදෙන වුන් මේ සොඳුරු කවි කාරයා ගැන අංශු මාත්රයක් නොදැන සිටීම බිළිඹඳවයි.


මා මීට සතියකට උඩ්දී මෙල්බන් නුවර සංවිදානය කර තිබූ ගී ප්‍රසංගයකට සහභාගී වුනෙමි. සොඳුරු සෙවනැලි නම් වූ එය, රත්න ශ්රී විජේසිංහ ,බන්ඩාර අතාවුද සහ නදීක ගුරුගේ යන තුන් කට්ටුව එකට හිඳ පැවැත්වූවකි.


ප්‍රේක්ශකයෝ "වේදිකාවේ අසුනකට බරවී.." ගීතයට තාලයට අත්පොඩි ගැසුවෝය.නදීක හිනා වුනි.වේදිකාවෙන් ද එම හිනාවට අත්වැල්  සැපයුනි. නමුත් ඒ හිනාවන් අවංකව නැගුනු ඒවා නොවන්නට  ඇත. මක් නිසාදයත්, ගීතයේ අරුත බොහෝ දෙනා නොදැන සිටි නිසාවෙනි.

" මේක මම යලුවෙක් ගෙ වෙඩ්න් එකකට කරපු සිංදුවක්. වෙලාවට මේක වෙඩින් එකට ආපු අයටයි, මනමාලයටයි දෙන්නටම තේරුනේ නෑ, තේරුනා නම් එදාම මගෙ සංගීත ජීවිතේ ඉවරයි !"

නවක ගායකයා හා ගායිකාව මහා ගාන්ධර්වයෙක් ලෙස නදීක අස්වසද්දී, ගායකයාට ඒදඩු  තැනූ පදරචකයා බොහෝ නිහතමානීව බලා සිටියේය. ඉඳ හිට සිය හඩ අවදි කරමින් පදවැල් වලට අරුත් සැපයුවේය.

නදීක ගේ හඩට, බන්ඩාර අතාවුද ගේ හඩට ඇති ඉල්ලුම රත්න ශ්‍රී විජේසිංහ ගේ කවි පෙලහරට එම වේදිකාවෙ නොතිබීම ගැන මා දුක් වුනෙමි. ඒ, මේ පිරිස ගීතය ඇදිනුවත් ගීත රචකයා ගැන ති අල්ප දැනුම නිසා වෙන්නට පුලුවන.


 දහසක් හිස් අතර එක හිසක් හෝ රත්න ශ්‍රී ගේ කවියට ඇලුම් කිරීම ගැන මම මටම අස්වසා, ගෙදර විත් එක  හුස්මට ඔහුගේ කවි පොත් කියවා අහවර කලෙමි.





Mar 11, 2013

වෙරෝනිකා...

හිස් ගෙඩිය පිපිරෙන තරමට ගිනියම් රස්නෙ.ඒ මදිවට මේ කාලකණ්නි නිසාචර රස්සාව.උඹට මේව තේරුනේ නෑ...සත්මහල් ප්‍රාසාදයක් අස්සෙ හුරතලේට හැදිච්ච උඹට, මම විඳින දුක කියල, උඹේ ඔය හීන ලෝකෙ කුඩුපට්ටම කරන්න මට උවමනාවක් තිබුනෙ නෑ...ඒත් වෙරෝනිකා මම උඹට ආදරේ කළා නොසෑහෙන්න.මේ බිත්ති හතරට කතා කරන්න පුළුවන්නම් උන් කියයි.නිදි මර මර මම විඳින කරුමක්කාර ජීවිතේ ගැන.අනිත් උන් වගේම මටත් උඹට හොරා එක එක ගුබ්බෑයම් අස්සෙ රිංගල මොහොතක් පොඩි සැනසීමක් හොයන්න තිබුන.ඒත්,උඹේ ඔය අහිංසක ඇස් ගෙඩි දෙක දිහා බලාගෙන මට එහම කරන්න තරම් හයියක් තිබුනෙ නෑ...සමහර විට ඒ මගෙ මෝඩ කම වෙන්න ඇති.නැත්නම් මම උඹට කරපු ආදරේ වැඩි වෙන්න ඇති.වෙරෝනිකා උඹ දන්නෙ නෑ...උඹව දාල මම එන දවසෙ අඬපු කඳුළු කන්දරාව.නෑ වෙරෝනිකා උඹට ඒක තේරෙන්නෙ කොහොමද? ...එහෙම උනනානම් අද මමවත් උඹවත් මේ විදියට තනිවෙන්නෙ නෑ...
ආදරණීය වෙරෝනිකා...කැඩිච්ච බිඳිච්ච දේවල් ආපහු ඒ විදියටම හදන්න බෑ.අද මම උඹට යන්න දෙනව.සදහටම.මගේ මේ නිසාචර ජීවිතෙන්.මට දුක හිතෙයි ගොඩක්.ඒත්,ඒක උඹට තේරෙන එකක් නෑ...මේ රෑ තිස්සෙම මා එක්ක එක සීරුවට ඉකි ගහන මගෙ ගිටාර් කට්ට තරම්වත් උඹ මට ලෙංගතු නොව්ච්ච නිසා.උඹට ඒ දුක දැනෙනෙ එකක් නෑ...එහෙම දැනුන නම්,උඹ කවදාවත් මම දුක් විඳින අස්සෙ වෙන එක්කෙ එක්ක රවුම් ගහන්නෙ නෑ.මම උඹට සමාව දුන්න.හදවතින් ම .ඒත් ඒක පිළිගන්න තරම්වත් උඹට උවමනාවක් තිබුනෙ නෑ...
ජීවිතේ සොච්චමට වැටිච්ච මට හිටියෙ උඹ විතරයි.ඒත් අන්තිමට උඹත් මාව දාල ගියා වෙරෝනිකා.කවදා හරි දවසක අපි ආපහු මුනගැහෙයි.එදාටත් එක මොහොතකට උඹෙ ඔය හිනාව බලන්න මම ආසයි.


මට අයිති නැති හීන ...හැමදාම හැම රෑම...
රෑ තාරුකා සේම දිලුනා...
සුදු පාට ඒ හීන... රෑ තාරුකා සේම...
නොදැනීම උදයේම මැකුනා....

වෙරෝනිකා උඹට සුභ ගමන්...


not a personal experience...

Aug 25, 2012

කඳුළු ගඟෙන්,කිරි සයුරට..

 මාසෙකට වඩා වැඩි කාලයක් යකාගෙ කම්මල වගේ තිබුනු ඔලුගෙඩියට ඊයෙ දවසෙ පොඩි විවේකයක් ලැබුන.ඒ මෙල්බන් වල බෞද්ධයො අතර ගොඩක් ප්‍රසිද්ධ වොබර්ටන්  පංසලට පය ගහන්න ලැබිච්ච වාසනාව නිසා.නම,ගම වත් දන්නෙ නැති, නන්නාදුනන කෙනෙක් බොලොග් එකේ ක්මෙන්ට් අතරෙ කරපු යෝජනාව මේ ගමනට මුල් වුනා කිවුවොත් ඒක වැරදි නෑ.ඒ කල්‍යාණ මිත්‍රයට බොහොම පින්.එයා නිසා මට තව ඒවගේ අය බොහෝ දෙනෙක් අඳුනගන්න ලැබුන.


හාමුදුරුවන්ගෙ දානෙට බත් එකකුත් උයාගෙන ගමන යන්න උදේම පිටත් උනා.මාව එක්කගෙන ගියේ වික්ටෝරියන් බුඩ්ස්ට් සොසයිටී එකෙන් අඳුන ගත්තු ශේන් කියන සුදු මහත්තය එක්ක.පැයක් හමාරක් යනකොට අපි  පංසලේ.

එතනදි හිතට එන හැගීම වචන වලට හරවන්න බෑ.මාසෙම අඬපු කඳුලු ටික එකපාටම වේලිලා ගියා.ඒ තරමට හිත නිවෙන තැනක්.වටේම කඳු,මීදුම,පින්න,සීතල මේ ඔක්කොමත් එක්ක හාමුදුරුවරුන්ගෙ සිල් සුවඳ.දාල එන්න හිතුනෙ නෑ.

දානෙ ඉවර කරල අපි ගියා   පංසලේ ලොකු හාමුදුරුවො බැහැදකින්න.උන්නාන්සෙගෙ නම අජාන් කල්‍යනෝ.එන්ගලන්තෙ ඉපදිලා පස්සෙ ගොඩ කාලයක් තායිලන්තෙ අජාන් චා හාමුදුරුවො ගාව මහණවෙලා ඉඳල, ඒ හාමුදුරුවන්ගෙ කීමට තමයි මෙහෙට වැඩල තියෙන්නෙ.හරිම සිල්වත් හාමුදුවො.හැම වෙලාම ඉන්නෙ හිනා වෙලා.මාත් එක්ක ගිය ශේන් මහත්තය හාමුදුරුවන්ගෙ හෙන ගජය.ඉතින් මට බරට උපදෙස් ටිකක් දුන්න.අන්තිමට උන්නාන්සෙට සිටි එකට එන්න ඕනෙ කියල අපි ගිය වාහනේම ආපහු වැඩිය.ඒක ලොකු වාසනාවක්.ප්‍රශ්ණ පත්තරෙකටම උත්තර අහගත්ත එන ගමන්.



"පළතුරු ගහක් හිටවල ඒකට වතුර දාල,පෝර දාල,වල් පැල ගලවල,සත්තුකරල ඒකට හොඳට ඉර එළිය වැටිල එනකොට කාලෙකදි නිකම්ම පළතුරු කඩාගන්න පුලුවන්.හැබැයි ගහ හිටවල පළතුරු නෑ,පළතුරු නෑ කිය කිය හිත හිත හිටියත්,මෙතන හරිනෑ වෙන තැනක හිටවනව කියල   සැ රෙන් සැරේට ගහ ගලව ගලව තැන තැන හිටවන්න ගත්තොත් අන්තිමට වෙන්නෙ ගහ මැරිල යන එක."

මේ මම බාවනාව ගැන අහපු ප්‍රශ්ණේකට උන්නාන්සෙ මට දීපු උත්තරේ.


කොහේ ගියත් කැමරා කට්ට අමතක නොකරන නිසා පින්තූර ටිකක් ගත්ත.ඔන්න එහෙනම්...


මේ ඉන්නෙ පංසලේ ලොකු හාමුදුරුවො  අජාන් කල්‍යානෝ.මේ පින්තූරෙ නම් ගත්ත ගූගල් කරල

 





ඔය යන්නෙ මා එක්ක ගිය සුදු මහත්තය ශේන්









මේ ගමනට මා උනන්දු කළ නන්නාදුනන කලණමිතුරාට මා සිදුකරගත් සියලු පින් අනුමෝදන් වෙවා! මිනූ ඔයාටත්...

Buddha Bodhivana Monastery
780 Woods Point Road
East Warburton, Victoria - 3799
Australia

Jul 15, 2012

සදා නොසිඳෙන දහම් ගඟ,බළංගොඩ හාමුදුරුවෝ!



"ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිර යන විට එය වළක්වන්නට වසවර්ති මාර දිව්‍ය පුත්‍රයට උවමනා වුණා.එතුමගේ මේ වැරදි වැඩ පිළිවෙල දෙව්ලොව සිටින මෛත්‍රී බෝධි සත්ත්වයන් වහන්සේ දැනගත්ත.
මේ වැඩ පිළිවෙල වලක්වා බුද්ධ සාසනය ආරක්ෂා කැර ගැනීමට බෝදි සත්ත්ව දෙවියන්ට උවමනා වුණා.එතුමා දේව සභාව කැඳවා සාකච්ජා කළා.ඒ සාකච්ජාවට එන්න කියල මටත් දැනුම් දුන්න.ඒ වන විට මම හිටියේ ඉතා ඈත අහසේ දිලිසෙන පුංචි තරුවක් වගේ දිව්‍යාත්මයක.මම ආවෙ නෑ.දෙවෙනි වරටත් දැනුම් දුන්න.මම ඒත් ආවෙ නෑ.තුවෙනි වරට දැනුම් දුන්නම මම ගියා.
කඳවීමට එක් වරම ආවෙ නැති නිසා මම හිතුවක්කාරයි කියා මෛත්‍රී බෝධි සත්ත්වයන් වහන්සේ මට තරවටු කළා.

වසවර්ති මාරය එක්තරා පිරිසක් මනුස්ස ලෝකෙට යන්න තීරණය කරල තියෙනව,බුද්ධාගමේ හැටියට ම ඒ ස්වරූපයෙන් වෙනත් එකක් පතුරවන්න.අන්න ඒක මර්දනය කරන්න අපිත් කණ්ඩායක් යවන්න ඕන කියා ඒ දේව සභාවෙදි තින්දු කළා.දිව්‍ය ලෝකයෙ සිට බලවත් දේව කණ්ඩායමක් මනුස්ස ලෝකෙට එවන්න තීරණය වුණා.මේ කණ්ඩායම එක්ක මටත් එන්න කීව.මම 'බැහැ 'කීව.'ඒ ඇයි කියා' මෛත්‍රී බෝදි සත්වයන් වහන්සෙ මගෙන් ඇහුවා.
'මම ප්‍රබල නෑ.මට වඩා බලවත් කෙනෙක් යවන්න' කියා මම කීව.
'මොකක්ද නුඹේ ප්‍රාර්ථනය?' කියා එවර මගෙන් ඇහුව
'මට බුදු වෙන්න ඕනෑ' කියා මම කීව.
'ඇයි මම මනුස්ස ලෝකෙට ඇවිත් බුදු වුණාම නුඹට බැරිද මාර්ග ඵල ලබාගන්න' කියා එතුම මගෙන් ඇහුව.
'මට බැහැ.මට වුවමනා ලොව්තුරා බුදු බවට පත්වෙන්න.මමත් කවදා හරි ලොවුතුරා බුදු වෙනව' කියා මම කීව,ලෝක සත්ත්වයාට පිහිට වෙන්න මටත් ඕනෑ යැයි නැවතත් කීව.
ආ...නුඹට ඔච්චර ධෛර්යයක් තියනවා නම් ඇයි උඹ මේ කටයුත්තට නොයන්නෙ කියා මගෙන් ඇහුවා.
මට කට උත්තර නැතිවුණා.
'එහෙනම් මම යන්නම් හැබැයි ඔබ වහන්සෙගෙ පිහිට මට ලැබෙන්න ඕනෑ'.මම කීව.
'ඕනෑ වෙලාවක මා සිහිපත් කරන්න.මම උදව් කරනව' කියා එතුම කීව."

1896 අගෝස්තු මස 23 වෙනි දින රාත්‍රී 12 පසුවී විනාඩි 05 ට බළංගොඩ කිරිඳිගලදී නාරංගොඩ ආරච්චිගේ මෙතියස් හාමි නොහොත් මද්දුම හාමිට හා හීන් මැණිකේට දාව උපන් විලියම් නොහොත් පුංචි මහත්තයා පසුකලකදී ප්‍රකාශ කරන ළද පෙර භවයේ සටහනයි ඒ.

ඒ අන් කිසිවෙකුත් නොව,පසු කලකදී බුරුම රජයෙන් පිරිනමන අභිධජ මහා රට්ඨ ගුරු සංඝරාජ පදවියෙන් හා තවත් බොහෝ ගෞරව  බහුමානයන් ගෙන් පිදුම් ලද,ලක් දෙරණට පසලොස්වක සඳ මඬල මෙන් වූ,අග්ගමහාපණ්ඩිත, අතිපූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රීය මහා නාහිමියන්  ය.

විශ්ව කෝෂයකටත් වඩා වැඩි දැනුමකින් පරිපූර්ණ වූ බළංගොඩ හාමුදුරුවෝ,කිසිදිනපිරිවෙන් අධ්‍යාපනය නොලැබූ කෙනෙකි.උන්වහන්සේ,සිය ගුරු දේවයාණන් වූ දෙණිහේනේ සීලානන්ද නාහිමිටත් එහා ගිය දැනුම් සම්භාරයක් දරා සිටි උතුමෙකි.

විද්‍යොදය විශ්ව විද්‍යාලයේ මහායාන බෞද්ධ අංශයේ පීඨාධිපති ධූරය හා උපකුලපති ධූරයද,දඹදිව ඉසිපතනයේ මූලගන්ධකුටි විහාරාධිපති ධූරයද,උන්වහන්සේ දැරූ තනතුරු අතරින් කිහිපයකි.ඒ අතර උන්වහන්සේ ඉතා නිහතමාණී ලෙස ප්‍රතික්ෂේප කල තනතුරු ඉතා බොහෝය.නාලන්දාවට ඒ නම තැබුවේද,ආදර්ශ පාඨය නිර්මාණය කළේද උන්වහන්සේ විසිණි.

බෞද්ධ ග්‍රන්ථ,භාෂාන්තර භික්ෂක ග්‍රන්ථ,පරිවර්ථන කෘති,ජෝතිෂ ග්‍රන්ථ,වෛද්‍ය ග්‍රන්ථ,ඉංග්‍රීසි බාෂාවෙන් ලියැවුනු ග්‍රන්ථ සහ වෙනත් බොහේ වටිනා ග්‍රන්ථරත්ණයන්  රාශියක් උන්වහන්සේ අතින් ලියැවී ඇත.

මා සතුව ඇති උන්වහන්සේගේ සහ උන්වහන්සේ වෙනුවෙන්
 ලියැවුනු 
වටිනා පොත් කිහිපයක්


ස්වාමි නාරායනාදන්,අරුණාචලයේ රමණ මහර්ෂි වැනි ඉන්දියානු යෝගීන්ගෙන් යෝග බාවනාව පිළිඹඳව පර තෙරටම හදාරා ඇති උන් වහන්සේ,අනගාරික ධර්මපාල තුමා,ඕල්කට් තුමා,ක්‍රිශ්ණමූර්ථි තුමා වැනි බුද්ධාගමේ උන්නතියට කටයුතු කළ බොහෝ ඇසූ පිරූ ඇත්තන් ලඟින් ඇසුරු කළ කෙනෙකි.

බළංගොඩ හාමුදුරුවෝ ඉන්දියාව මෙන්ම ප්‍රංශය,එංගලන්තය,ඇමෙරිකාව,වැනි අබෞද්ධ රටවලට වැඩම කරමින් අප ලොව්තුරා බුදුන්වහන්ස්වගේ ශ්‍රී සත්ධර්මය ව්‍යාප්තියට අනගි මෙහෙයක් ඉටු කළ  පුරෝගාමීන් අතර මුල්තැන ගත් උත්තමයෙකි.

සමථ බාවනාවෙන් පරචිත්ත විචාරණ සහ පුබ්බේනිවාසානුස්මෘති ඥාණය ද,විදර්ශණා බාවනාවෙන් සංකාර උපේක්ඛා ඥාණය දක්වාද සිත දියුණු කරගත් උන්වහ්සේට සෝවාන් වීම මගහැරී ගියේ බුදුවීමට තිබූ ප්‍රාර්ථනය හා අධිෂ්ඨානය නිසා බව මතුගම මහින්ද විජේතිලකගේ බලංගොඩ හාමුදුරුවෝ ග්‍රන්ථයේ සඳහන් වේ.

"මා දන්නව,මට විශ්වාසයි.ඉක්මනින්ම මා පරලොව ගියොත් ඉතාම ශ්‍රද්ධාවත් භක්තිමත් පවුලක දරුවෙකු වෙලා උපදින බව.මේ ආත්මේ කළාට වඩා ශාසනයේ දියුණුවට කටයුතු කිරීමට මට හැකිවෙනවා ඇති.ඒ නිසා මේ දුර්වල ශරීරයකින් යුක්තව තව තවත් ජීවත් වෙන්න මගේ ආශාවක් නෑ.නමුත් වෙන එකක් වෙච්චාවෙ.කොයි දවසෙ මැරුනත් මම  භය නැහැ.මම දන්නව,මීලඟ ආත්මෙයේ ජාතිස්මරණ ඥානයෙන් යුක්ත  වූ පැවිද්දෙක් මහජනයා ඉදිරියට අවුරුදු කිහිපයකින්  එන බව,මගේ ප්‍රාර්ථනය ඒකයි."

සිය චිත්ත ශක්තියෙන් 1983 තිබූ මාරක අපළය මගහැර ගත් උන්වහන්සේ වසර 102 වන තෙක් ලාංකික හා සියලු ලෝක වාසී බෞද්ධයන්ගේ හිතසුව පිනිස ජීවත් ව, 1998 ජුලි මස 18 වෙනිදා සිය කුළුණු බර දෙනෙත් පියා ගත්හ.


උන්වහන්සේගේ ගුණ කදම්බය මෙවැනි කුඩා ජේද කිහිපයකට හකුළුවා ලීම ඉතාමත් අසීරුය.එහෙත්  උතුම් සඟ ගුණයෙන් පරිපූර්ණ  බුදුපුතෙකුගේ වත ගොත මෙසේ සටහන් කරමි.

ප.ලි
චීවරයට මුවාවී සියලුම අවැඩ සිදුකරන,දේශපාලනය කරන,දහස් ගණනට උතුම් සත්ධර්මය විකුණන,පංසල් වෙනුව  සත්මහල් ප්‍රාසාද ඉදි කරන,මිථ්‍යාදෘෂ්ඨීන් පතුරවන,ගෞතම බුද්ධ ශාසනයේ විනාශයට උඩගෙඩි දෙන චීවර ධාරින් මේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේගේ පයට පෑගුන වැලි පිඩකටවත් සමාන කිරීමට නොහැක.

මතු බුද්ධත්වයම පතන ඔබ වැනි බෝදිසත්වයන් වහන්සේ කෙනෙකු පාමුල දොහොත් මුදුන් තැබීමට මා කළ පින් නොසෑහුන බැවින්,බුදුන් වැඩි දේශයෙන්,ධර්මය රැකෙන දේශයෙන්,නිර්මල බුදුදහම මැකී යන්නට ප්‍රථම,ඔබවනසේගේ කරුණා බර දෙනෙත් නැවතන් මගේ ලක්මෑනියගේ තුරුළේ විකසිත වේවා!


මූලාශ්‍ර ග්‍රන්ථ,
මතුගම මහින්ද විජේතිලක:-සසුන'ඹර ගුරු තරුව බළංගොඩ හාමුදුරුවො
සමුද්‍ර වෙත්තසිංහ:-ආනන්ද මෛතීය මහනාහිමිගේ අප්‍රකට ලිපි.

Jun 29, 2012

වියපත් බුදුහාමුදුරුවෝ


ජීවිතේ එක වතාවකට හරි පංසලකට ගොඩ නොවිච්ච කෙනෙක් මේ ලිපිය කියවනව ඇති කියල මම හිතන්නෙ නෑ.ඒත්, එහෙම නොගිය කෙනෙක් වුනත්  බුදු පිළිමයක් නොදැක ඇති කියල කියන එක විශ්වාස කරන්න බැරි දෙයක්.ඉඳි පිළිම,හිටි පිළිම,සැතපෙන පිළිම වගේම නොයෙක් මුද්‍රාවලට නෙළල තියන බුදු පිළිම දහස් ගානක් අපි දැකල ඇති. 
පිළිම නෙලීමෙ කලාව ආරම්භ වෙච්ච දවසෙ ඉඳල  කලුගල් එක්ක ඔට්ටු වෙච්ච ඕනෙම ගල් වඩුවෙක්  තමන්ට කරන්න පුලුවන් උපරිමයෙන්,බලන කෙනෙකුට එක හිතින්ම ශ්‍රද්ධාව ඇතිවෙන විදියට තමන්ගෙ නිර්මාණ උපරිම සධාරණය කරන්න ඇති.අවුකන,ගල් විහාරය වගෙ  තැන්වල තියන බුද්ධ ප්‍රතිමා වගේම සමාධි බුදු පිළිමයත් ඒ අයගෙ හැකියාව ගැන සැකයක් නැතිව කියන්න පුලුවන් හොඳ උදාහරණ. 


ඔය අතර හන්දියක් හන්දියක්  ගානෙ ඕනෙවට එපාවට හදල තියන,සමහර විට බුදුහාමුදුරුවොද කියලවත් අඳුර ගන්න බැරි ප්‍රතිමා නැත්තෙම නෑ.අතීතෙ මිනිස්සු හරිම යටහත් පහත්ව,බොහොම ශ්‍රද්ධාවෙන් කරපු මේ රාජකාරිය අද වෙනකොට මුදල් හම්බ කරන්න කරන රැකියාව වෙලා.ඒක නිසාම බුද්ධ ප්‍රතිමාවකට තිබුන ගෞරවය අද වෙනකොට බොහෝ දුරට නැතිවෙලා ගිහින් කියන එකයි මට තියන හැගීම.නැත්නම් ගෙදර ගාර්ඩන් එකෙටයි,ක්ලබ් වලටයි,සෙරෙප්පුවලටයි,ටී ශර්ට් වලටය,ඔය එකී මෙකී නොකී හැමතැනටමයි අන්තිමට වැල චිත්‍රපටිවලටයි අපි දොහොත් මුදුන් දීල සාදු කියල බුදු පිළිමය යොදාගන්න එකක් නෑ.


පිළිම ගැන මෙහෙම හැදින්වීක් කලාට අද කියන්න යන කතාව වෙනම එකක්.
මම හිතන විදිය අපි කවුරුත් බුදුහාමුදුරුවො පිරිනිවන් පාන අවස්ථාව නිරූපණය වෙන ප්‍රතිමා ඉහේ කෙස් ගානට දැකල ඇති.


"ආනන්ද,මම දැන් ජරාවට පත්වූවෙමි,වෘද්ධයෙමි,මහලු වූයෙමි,කල්ගත වූයෙමි,වයස් ගතවූයෙමි.මම දැන් අසූ වයස් ඇත්තෙමි.ආනන්ද,දිරාපත් වූ කරත්තයක් පිළියම් කිරීමෙක් පවතින්නක් මෙන් තථාගත ශරීරයත් පිළියමින් පවතී කියා මට හැඟෙයි.ආනන්ද,යම් අවස්තාවක තථාගතයෝ සියලු නිමිති නොමෙනෙහි කිරීමෙන් සමහර වේදනා මැඩලීමෙන් නිමිති රහිත  චේතෝවිමුක්තිය ලබා වාසය කරත් නම් ඒ අවස්ථාවේ තථාගත ශරීරය බෙගෙවින් පහසු වෙයි."
බුදුහාමුදුවො පිරිනිවන් පාන්න කුසිනාරාවට වඩින ගමනෙදි ආනන්ද හාමුදුරුවොත් අතර ඇතිවෙච්ච මේ සංවාදය තියෙන්න දීඝ නිකායෙ මාහා වග්ගයෙ මහා පරිනිබ්බාන සූත්‍රයෙ.


පන්සාලිස් වසරක්ම මිනිස්සුට නිවන් අවබෝධ කරන්න මුලු බාරතය පුරාම යොදුන් දහස් ගනන් පයින් වැඩම කරපු අපේ ගෞතම බුදු හාමුදුරුවො,අපි පිළිම වලින් දකින දේට වඩා බොහොම වෙනස් කෙනෙක් වෙන්න ඇති කියන එක තමයි මට තියන හැගීම.
ඒක ඔප්පු කරන්න මට සාදක නැති වුනත් මැත කාලෙ මුළු ලෝකෙටම සඳ මඬල වගේ හිටිය උතුම් බුද්ධපුත්‍රයෙක් වෙච්ච අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නායක හාමුදුරුවො දිහා බලන කෙනෙකුට ඒක එහෙම නොවෙයි කියල හිතන්න බෑ.උන් වහන්සේ ජීවිතේ අන්තිම කාලෙ බොහොම වයෝවෘද වුනත්, තමන්ගෙ හිතේ ශක්තියෙන් ටික කාලයක් ජීවත් වුන හැටිත්,උන් වහන්සෙගේ  වයස්ගත් වෙච්ච ශරීරෙට වඩා උන්වහන්සෙගෙ හිත කොච්චර ශක්තිමත් ද කියන එක උපමාවට ගත්තොත් පිරිනිවන් පාන අවදියෙදි අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශරීර ස්වාභාවය ගැන පුන්චි ඉඟිය ගන්න පුලුවන් වෙනව.
අති පූජ්‍ය් අබලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමි

මම ලිපිය ඉවර කරන්නෙ පොඩි වචන ටිකකින් 


"එගොඩහ යන්නෝ...
මෙගොඩහ යන්නෝ...
තව කව්රුද ඉන්නේ...
පමා නොවන්නේ අඳුර වැටෙන්නේ .. යනවානම් එන්නේ…
මම මේ ගඟුලේ.. අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා…


ගඟුල අනෝමයි අද මට වෙහෙසයි.. යනවානම් එන්නේ…
මම මේ ගඟුලේ.. අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා..."


ඩෝල්ටන් අල්විස් මහත්තයගෙ  පද රචනාවකට විශාරද ශෙල්ටන් පෙරේරා  ගායකය සංගීතය කරල ගායන කරපු, පසු කාලෙකදි සිය පුත්‍ර රත්නය විසින් සන්ෆලවර්ස් බිස්කට් කුඩු සංගීතයට ගායන කරපු මේ සින්දුවේ තේරුම, පිරිනිවන් පාන්න කිට්ටු වෙලා වියපත්ව ඉන්න අපේ බුදුපියානන් වහසෙගෙ හිතේ ඇතිවෙච්ච හැඟීමක්.


නිමි!

පමා නොවන්නේ අඳුර වැටෙන්නේ .. යනවානම් එන්නේ…
සියලු දෙනාම උතුම් ධර්මාවබෝදයෙන් නිවනිම සැනසේවා.



May 14, 2012

ඇසූ පිරූ ඇත්තාගේ නිකම යෑම


මුහුදින් එහා ජීවත් වෙලා වෙසක් දවසට ලංකාවට පය ගහන්න  ලැබෙන එකත්, ඒකෙන් ඇතිවෙන සතුටත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.ඒ විතරක් ද,කමෙන් වලින් විතරක් හිතවත් වුන බ්ලොග් සහෝදරයො ගොඩ දෙනෙක්වම හැබැහින්ම බලාගෙන විනෝද  වෙච්චි එක..
ඉතින් ඔබා මාම යන ගමන නොකියම ගියාත් යන තැනට සතුටින් යන්න ඇති.

"වැඩ ඇරිල ආව විතරයි...දැක්කෙ  මේක....තාත්ත කෙනෙක් වගේ හිටපු හෙඩ් චෙෆායි...සහෝදරයො වගේ හිටපු තව හිතවතුන් දෙන්නෙකුයි කුස්සිය දාල ගියා අද..රෑ වෙනකොට ඔබා මාමත් යන්න ගිහින්.හැම දාටම..ජීවිතෙන් බාගයක්ම පාලු වුනා වගේ.."
 


ඔබා මාමෙ!  මේ සංසාරේ අපිට ආපහු හමු නොවෙන්න නිවන් දකින්න!



Feb 25, 2012

යුවරාජ්ගෙ පිලිකාව ගැන ඔහුගේ පියා කියන කතාව.

"මගේ පුතාව හොඳ නොවුනොත් මම ඕකව මරනව!"
යොග්‍ රාජ් සිං යනු, මෑතකදි තමන්ට පිලිකාවක් වැලදී ඇති බව සොයාගත් ජනප්‍රිය ඉන්දීය ක්‍රිකට්‍ ක්‍රීඩක යුවරාජ් සිං ගේ පියාය.දැනට තම බිරිඳගෙන්,  යුවරාජ් ගෙන් හා අනෙක් දරුවන්ගෙන් වෙන් වී සිටින ඔහු යුවරාජ් ගේ පිලිකාව වැඩිවීමට හේතුව පංජාබ් ප්‍රාන්තයේ රූපවාහිනී ආයතනයක් මගින් පවත්වනු ලැබු සම්මුඛ සාකච්ජාවකදී හෙලි කරන ලදී.

යෝගරාජ් සිං පංජාබ් ප්‍රාන්තයේ ජනප්‍රිය සිනමා නළුවෙකි.තවද ඔහු අති විශාල මුදල් සම්භාරයකට හිමිකම් කියන ව්‍යාපාරිකයෙකි.පංජාබ් ප්‍රාන්තයේ අග නගරය වන "චන්ඩිගර්" හි සැලකිය යුතු ඉඩම් ප්‍රමානයක්ද ඔහුට අයිතිව පවතී.


ඔහුගේ ප්‍රකාශයට අනුව යුවරාජ් සහ ඔහුගේ මව, "බාබා ජී" නැමති ව්‍යජ සවාමී වරයෙකුගේ ප්‍රකාශ විශ්වාස කිරීම නිසා  මූලික අවදියේදීම පිලිකාව හඳුනා ගෙන ප්‍රදිකාර කිරීමට තුබූ අවස්ථාව ගිලිහී ගිය බවය.තවත "ජතන් චෝදරී" යන බාබාට සම්බන්ද  වෛද්‍යවරයෙකුගේ ව්‍යාජ ප්‍රකාශද මෙයට හේතුවක් වුනු බවය.


ජීවිතයේ හැම රාජකාරියකටම බාබා ජී හමුවට යන යුවරාජ්  මෑතකදී අවසන් වුන එන්ගලන්ත සංචාරයට පෙරද ඔහු හමුවට ගොස් ඇත්තේ ඔහුගේ පපුවේ ඇතිවන වේදනාව පිළිඹව දැනාගෙනීම සඳහාය.නමුත් බාබා ජී ගේ කීම වුයේ යුවරාජ්ට කිසිම අසනීපයක් නොමැති බවත් එන්ගලංතයට ගොස් ක්‍රීඩාකර ආ හැකි බවත් ය.යොග්‍ රාජ් සිං ගේ ප්‍රකාශයට අනුව යුවරාජ් ඔහුගේ ජීවිතයේ හැම තීරණයක්ම බාබා ජී ගේ කැමැත්තට සිදුකරන අතර අවසාන වු ලෝක කුසලානයද ඉන්දියාටව දිනා දුන්නේ බාබා ජී ගේ බලය නිසා බව යුවරාජ් විශ්වාස කරන බවය.

නමුත් අවසානයේදී  ප්‍රතිකාර සඳහා අමෙරිකාව බලා යාමට සිදුවු පසු  යුවරාජ් ඉතා කල කිරුනු ලෙස පියා සමග දුරකතනයෙන් කතා කර ඇතිබවත් මේ පිළිඹඳ යුවරාජ් ගේ පියා බාබා ජී ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ යුවරාජ් ට  කවුරුන් හෝ"බැල් මැජික්" කර ඇතිබවය.තවද යෝග්‍ රාජ් පවසන්නේ ඔහු හට යුවරාජ් ව බැලීමට පවා ඔහුගේ මව ඉඩ නොදෙන අතර යුවරාජ් ගේ පිලිකාව මේ තත්වයට පත්වීමට ඔහුගේ මවගේ අනුවන කාරී ක්‍රියාද හේතුවු බවය.යුවරාජ්ට මෙන්ම ඔහුගේ සීයාටද පිලිකාවක් වැළඳී තිබූ බව යෝග් රාජ් සිං පවසයි.



යුවරාජ් සිං ක්‍රිකට් ක්‍රීඩාවට අවතීරණ වන්නේ ඔහුගේ පියා ඔහුට ඒ සඳහා අවශ්‍ය සියලු පහසු කම් සැපයු නිසා වෙනි.නමුත් බෝහෝ දෙනා මේ සකච්ජාවෙන් පසු යුවරාජ්ට ඇති මුදල් නිසා ඔහුගේ පියා මේ ආකාරයෙන් ප්‍රකාශ සිදුකරනු ඇතැයි  නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙන යොග් රාජ් පවසන්නේ යුවරාජ් සිං වැන්නවු සිය දෙනෙකුටත් වඩා ඔහු මුදල් උපායා ඇතිබවය.


ප.ලි
අපේ කුස්සියේ මා එක්කම වැඩකරන මගෙ හිතවතෙක් වෙන පංජාබ් පොරක් තමා විස්තරේ කිවුවෙ.හැබැයි මට මේක ඇත්තද නැත්තද කියල බලන්න ඕනෙ නිසා ඌ කියපු ඉන්ටවිව් එක බැලුව.උන් එක්ක ම ඉදල හින්දි බාසාවයි පංජාබ් බසාවෙන් ටිකක් විතරක් දැන් මටත් පුළුවන් වෙලා.

පංජාබ් බාසාව තේරෙනව නම් මෙන්න බඩු




Feb 20, 2012

ජුංගිරි බන්ඩිය....


අපි කවුරුත් ජීවිතේ මොනම වෙලාවකදි හරි කාටම හරි ආදරේ කරල, ආදරේ විඳල තියනව. ලැබිච්ච ආදරේ වගේම පාරක් පාරක් ගානෙ ආදරේ ඉල්ලන්න ගිහින් චාටරේ ගහල අන්තිමට හිස් අතින්ම ගෙදර ආපු වෙලාවලුත්  එමටයි. විඳපු ආදරේ වගේම හිතේ විතරක් හංගගෙන කාටත් හොරෙම්ම තනියම කරපු අසම්මත ප්‍රේමත් නැත්තෙම නැතුව නෙමේ.
මේ හැම දෙයක් අස්සෙම අපි ආදරේ උපරිම අගයට ආවට පස්සෙ අපේ පෙම්වතියට හරි පෙම්වතාට හරි ආමන්ත්‍රණය කරන වචන හරිම විවිධයි. සමහර විට හරිම බොළඳයි. සුදූ, බබා, වස්තුව, රත්තරං, මැනිකෙ මේ හැම එකක්ම ගොඩක් දෙනෙක් බාවිතා කරන පොදු වචන සෙට් එකෙන් ටිකක්. ඒත් මට මේ පෝස්ට් එක ලියන්න හිතුනෙ මේ ටික දවසකට කලින් මගෙ යාලුවෙකුවෙ මොබයිල් ෆෝන් එකේ තිබුන එක අසාමන්‍ය නමක් නිසා..
පුළුන් බෝලෙ නිව්….”
අඩෝමොකක්ද බං මේ?”
මේ වචනෙ දැක්කට පස්සෙ අනිත් බොහෝ දෙනෙකුට වගේම මටත් ඇතුවුනේ ප්‍රශ්ණාර්තයක්
නෑ බං ඔය මම කෑල්ලට ආදරේට කියන නම….”
හික් ඒක මරු නමනේ බං…”
ඔය හොඳයි.. උඹ දන්නවද මගෙ පරන කෙල්ල මට කියපු නම?”
කොහොමද බං දන්නෙ? කියපන් කො ඉතින් බලන්න…”
ජුංගිරි බංඩිය!”
මේ දෙක ඇහුවට පස්සෙ මම හිනා වෙන්නද අඬන්නද කියන්නල හිතා ගන්න බැරිවුනා. පස්සෙන් පහු මම මේ කතාව වෙන මගෙ ෆිට් එකකට කිවුවම ඌත් හිනා වෙලා කියනව. ඕක මොකක්ද බං, උඹ දන්නවද අරූට (යාලුවෙක්.නම කියන්න බෑ එක හොඳ නෑ) කියල තියන දේ කෑල්ල ඉස්සර වෙලාම යලු උනහම?
කියපංකො ඉතින්!
අද ඉඳල මම ඔයාගෙ කුටුන්න ඔයා මගෙ කුටන්න”!

Oct 19, 2011

පිටිදූවේ හාමුදුරුවෝ සකෘධාගාමි වීම සහ ඉල්ලගෙන පවු පුරවා ගැනීම

සුගිය දින කිහිපයේ ලංකාවෙ වෙබ් අඩවි පුරා උණු කැවුම් සේ අලවි වුන එක් දැන්වීමක් වුයේ, පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවො සෝවාන් වී ඇති බව හා උන්වහන්සේ සිය නම පවා වෙනස් කර ඇති බවයි.

මේ ලියන්නට යන්නේ ඒ පිළිඹඳ විවේචනයක් නොවන වග මුලින්ම කිවිය යුතුය. 

සිරිධම්ම හාමුදුරුවෝ යනු  එදා සිට ඉතා තාර්කික ලෙස බුදු බණ කියා දුන්,ලංකාවේ සිටින අතලොස්සක් ධර්ම දේශක ස්වාමීන් වහන්සේලාගෙන් එක අයෙකි.මා දන්නා ලෙස උපාධිය තෙක් අධ්‍යාපනය හදාරා පසුව මහන දම් පිරීමට ගිහි ගෙයින් නික්මුන අයෙකි.අනෙක් දේශක ස්වාමීන් වහන්සේලාගෙන් වෙනස්ව ඉතා සුවිශේෂ ආකාරයකට ධර්ම දේශනාකරන බුද්ධ පුත්‍රයෙකි.

ඉතා වැදගත්ම කරුන වන්නේ,උන්වහන්සේ සෝවාන් මාර්ගයත්,ඵලයත් පසුකර සකෘධාගාමී අවස්තාවට පත් වුයේනම්,නිවන් මාර්ගයේ අඩක් ගමන් කල උතුමෙකු අප අතර සිටින බව ට එය ඉතාම හොඳ සාක්ශියක් වන බැවිනි.තවද, ලංකාවේත් අනෙක් රටවලත් බාවනා කුටි වලට වී,බාවනානුයෝගීව මීටත් වඩා එහා මාර්ග ඵල ලබාගත් උතුමන් සිටියත් උන්වහන්සේලා  සමාජයට පැමින ඒ බව නොකියන අවදියක, පිටිදූවේ හාමුදුරුවො ඒබව පැවසීම පවා ලාංකික අප ලද පිනක් ලෙස සැලකිය හැක.

මේ කතාව අසා බොහෝ දෙනා එය හිස මුදුනින් පිළිගන්නවා වෙනුවට  උන්වහන්සේට කට කතා හැදීම ආරම්භ කලෝය.බුදු හාමුදුරුවන්ටත් කට කතා හැදුවා නම් අද වැනි කාලයක උන්වහන්සේ ගැන කවරනම් කතාද?


අවසාන වශයෙන් එක් ඉල්ලිමක් කිරීමට ඇත.ඔබ හා මම මීට පෙර නිවන් මගේ අඩක්  ගමන්කල හෝ එයට ලඟාවු හෝ උතිමෙකු දැක නැත.ඉතින් එය සනාත කර ගැනීමට හැකි එකම ආකාරය වන්නේ උන්වහන්සේගේ ධර්මදේශනා වලට සවන්දීමෙන් පමනි.කෙසේ වෙතත්,ඔය කතා බොරු යැයි කියා,චීවර ධාරියෙකුට නින්දා කිරීමෙන් පවු පුරවා ගැනීම හෝ  සකෘධාගාමී උතුමෙකුට එසේ කියා කල්ප ගනනක් අපායේ කරක්ගැසීමට වාසනාව උදා කර නොගන්නාලෙස ඉලා සිටිමි.


Sep 28, 2011

අඟුරු නොකා වතුර නොබී මෙල්බන් යන යකඩ යකා

කවුරු හරි හිතන්න පුලුවන් කවදාවත් නැතුව මොකද  එකපාරටම කෝච්චියක් ගැන කියන්න ගත්තෙ කියල.ඒත් මේ පොඩි සටහන වික්ටොරියා ප්‍රාන්තයෙ දුම්රිය සේවය ගැන.
මෙහෙම සටහනක් ලියන්න ප්‍රධානම හේතුව , තාමත් සියයට අනූවකටත් වඩා සුද්ද හදල දීල ගිය පරන රේල් පාරවල් වල දුවන අපේ දුම්රිය සේවය ගැන හිතුනම ඇතිවෙන දුකත් එක්ක ,කවද හරි අපේ රටේ අයටත් මෙහෙ වගේ සැප පහසු දුම්රියකින් ගමන් යන්න පුලුවන් වේවා කියන ප්‍රාර්තනාවත් එක්ක මෙහෙම ලියන්න හිතුන.


පොඩ්ඩක් ඉතිහාසයට ගිහිල්ල බැලුවොත්, විටෝරියා ප්‍රාන්තයෙ මුල් කාලෙ දුම්රිය දාවනය පෞද්ගලික ආයතන මගින් කරගෙන ගිහින් තිබුනත් ඒවගෙ තිබුන අඩු පාඩු හින්ද "වික්ටෝරියන් රෙල්වේ"කියල ආයතනයක්  යටතේ  1859  කාලෙදි දුම්රිය ගමනාගමනය ආරම්භ වෙලා තියනව.

ඕක්ලී ප්‍රදේශය පසුකරන දුම්රික්-1963
1980 මුල් භාගය වෙනකොට  මෙල්බන් නගරය යටින් ඉදිකල දුම්රිය උමං මාර්ග පද්දතියක් දක්වා වික්ටෝරියානු දුම්රිය සේවය දියුණු වෙලා තියනව.

දුම්රිය උමං පද්ධතියේ දර්ශණයක



දුම්රිය උමං පද්ධතියේ දර්ශණයක

මේ කාල වකවානුවේ දිම, ලී වලින් හදපු දුම්රිය මැදිරි ඉවත් කරල අලුතින් වායුසමනය කරන ලද දුම්රිය මැදිරි හදුන්වා දීල තියනව.1990 වෙනකොට දුම්රිය ගාඩ්වරු ඉවත් වෙලා එක් දුම්රිය දාවකයෙක් පමනක්  සහිතව දුම්රිය දාවනයවීම ආරම්භ වෙලා තියනව.
දුම්රිය සේවාව පෞද්ගලිකරණය වීම 1990 වෙදි ආරම්හ වීමත් සමග, සේවාව පුළුල් කරමින් 1997 වෙනකොට "වී ලයින්"(Vline) කිය දිගු දුර දුම්රිය සේවාවකුත් ආරම්භ වෙලා තියනව.

සදන් ක්‍රොස් දුම්රිය ස්ථානයේ ඇති Vline දුම්රිය
ඊට පස්සෙ, 1999 වෙනකොට "රේල් අමෙරිකා" නමැති ආයතනය යටතට පත්වුන දුම්රිය සේවය  2000 වර්ශය වෙනකොට "නැශනල් එක්ස්ප්‍රස්" ආයතනය යටතට පත්වෙලා තියනව.මේ කාල වකවානුවෙදි ම තමා "කොනෙක්ස්" සේවයත් ආරම්භවෙලා තියෙන්න(මම මෙහෙට ආපුම කාලෙ ගියේ කොනෙක්ස් කොච්චිවල )


කොනෙක්ස් දුම්රියක්


2009 වර්ශයෙ මැද කාලෙ වෙනකොට "කෝනෙක්ස්" නම වෙනස් වෙලා ඒක "මෙට්‍රො" නමට මාරුවුනා.දැන් තියෙන්නෙ මෙට්‍රො කෝච්චි.මේ හැම දුම්රියක්ම විදුලි බලයෙන් දාවනය වෙන බව අමතක කරන්න එපා.

මෙට්‍රො දුම්රියක්



කවද හරි දවසක මගේ පුංචි රටේ අයටත් මේ වගෙ කොච්චියකින් ගමන්  යන්න එන්න ලැබෙවා කියල ප්‍රාර්ථනා කරනව.


ප.ලි
හැබැයි හුලං වැදි වැදි,පැද්දි පැද්දි යන ලංකාවෙ කෝච්චියක් තරම් මෙහේ ඒවගෙ කිසිම ආතල් එකක් නැ.


මේවගේ පිස්සු බූතයො ඉන්නව මේ රටවලත්, මොකද උන්ට අපිට වගෙ කෝච්චියේ යනකොට හුලං වදින්නේ නැ

මූලාශ්‍ර
විකි පීඩියා සහ වික්ටොරියා රේල්වේ වෙබ් අඩවි