"ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිර යන විට එය වළක්වන්නට වසවර්ති මාර දිව්‍ය පුත්‍රයට උවමනා වුණා.එතුමගේ මේ වැරදි වැඩ පිළිවෙල දෙව්ලොව සිටින මෛත්‍රී බෝධි සත්ත්වයන් වහන්සේ දැනගත්ත.
මේ වැඩ පිළිවෙල වලක්වා බුද්ධ සාසනය ආරක්ෂා කැර ගැනීමට බෝදි සත්ත්ව දෙවියන්ට උවමනා වුණා.එතුමා දේව සභාව කැඳවා සාකච්ජා කළා.ඒ සාකච්ජාවට එන්න කියල මටත් දැනුම් දුන්න.ඒ වන විට මම හිටියේ ඉතා ඈත අහසේ දිලිසෙන පුංචි තරුවක් වගේ දිව්‍යාත්මයක.මම ආවෙ නෑ.දෙවෙනි වරටත් දැනුම් දුන්න.මම ඒත් ආවෙ නෑ.තුවෙනි වරට දැනුම් දුන්නම මම ගියා.
කඳවීමට එක් වරම ආවෙ නැති නිසා මම හිතුවක්කාරයි කියා මෛත්‍රී බෝධි සත්ත්වයන් වහන්සේ මට තරවටු කළා.
වසවර්ති මාරය එක්තරා පිරිසක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය කරල තියෙනව,බුද්ධාගමේ හැටියට ම ඒ ස්වරූපයෙන් වෙනත් එකක් පතුරවන්න.අන්න ඒක මර්දනය කරන්න අපිත් කණ්ඩායමක් යවන්න ඕන කියා ඒ දේව සභාවෙදි තින්දු කළා.දිව්‍ය ලෝකයෙ සිට බලවත් දේව කණ්ඩායමක් මනුස්ස ලෝකෙට එවන්න තීරණය වුණා.මේ කණ්ඩායම එක්ක මටත් එන්න කීව.මම 'බැහැ 'කීව.'ඒ ඇයි කියා' මෛත්‍රී බෝදි සත්වයන් වහන්සෙ මගෙන් ඇහුවා.
'මම ප්‍රබල නෑ.මට වඩා බලවත් කෙනෙක් යවන්න' කියා මම කීව.
'මොකක්ද නුඹේ ප්‍රාර්ථනය?' කියා එවර මගෙන් ඇහුව
'මට බුදු වෙන්න ඕනෑ' කියා මම කීව.
'ඇයි මම මනුස්ස ලෝකෙට ඇවිත් බුදු වුණාම නුඹට බැරිද මාර්ග ඵල ලබාගන්න' කියා එතුම මගෙන් ඇහුව.
'මට බැහැ.මට වුවමනා ලොව්තුරා බුදු බවට පත්වෙන්න.මමත් කවදා හරි ලොවුතුරා බුදු වෙනව' කියා මම කීව,ලෝක සත්ත්වයාට පිහිට වෙන්න මටත් ඕනෑ යැයි නැවතත් කීව.
ආ...නුඹට ඔච්චර ධෛර්යයක් තියනවා නම් ඇයි උඹ මේ කටයුත්තට නොයන්නෙ කියා මගෙන් ඇහුවා.
මට කට උත්තර නැතිවුණා.
'එහෙනම් මම යන්නම් හැබැයි ඔබ වහන්සෙගෙ පිහිට මට ලැබෙන්න ඕනෑ'.මම කීව.
'ඕනෑ වෙලාවක මා සිහිපත් කරන්න.මම උදව් කරනව' කියා එතුම කීව."
1896 අගෝස්තු මස 23 වෙනි දින රාත්‍රී 12 පසුවී විනාඩි 05 ට බළංගොඩ කිරිඳිගලදී නාරංගොඩ ආරච්චිගේ මෙතියස් හාමි නොහොත් මද්දුම හාමිට හා හීන් මැණිකේට දාව උපන් විලියම් නොහොත් පුංචි මහත්තයා පසුකලකදී ප්‍රකාශ කරන ළද පෙර භවයේ සටහනයි ඒ.
ඒ අන් කිසිවෙකුත් නොව,පසු කලකදී බුරුම රජයෙන් පිරිනමන අභිධජ මහා රට්ඨ ගුරු සංඝරාජ පදවියෙන් හා තවත් බොහෝ ගෞරව බහුමානයන් ගෙන් පිදුම් ලද,ලක් දෙරණට පසලොස්වක සඳ මඬල මෙන් වූ,අග්ගමහාපණ්ඩිත, අතිපූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රීය මහා නාහිමියන් ය.
විශ්ව කෝෂයකටත් වඩා වැඩි දැනුමකින් පරිපූර්ණ වූ බළංගොඩ හාමුදුරුවෝ,කිසිදිනපිරිවෙන් අධ්‍යාපනය නොලැබූ කෙනෙකි.උන්වහන්සේ,සිය ගුරු දේවයාණන් වූ දෙණිහේනේ සීලානන්ද නාහිමිටත් එහා ගිය දැනුම් සම්භාරයක් දරා සිටි උතුමෙකි.
විද්‍යොදය විශ්ව විද්‍යාලයේ මහායාන බෞද්ධ අංශයේ පීඨාධිපති ධූරය හා උපකුලපති ධූරයද,දඹදිව ඉසිපතනයේ මූලගන්ධකුටි විහාරාධිපති ධූරයද,උන්වහන්සේ දැරූ තනතුරු අතරින් කිහිපයකි.ඒ අතර උන්වහන්සේ ඉතා නිහතමාණී ලෙස ප්‍රතික්ෂේප කල තනතුරු ඉතා බොහෝය.නාලන්දාවට ඒ නම තැබුවේද,ආදර්ශ පාඨය නිර්මාණය කළේද උන්වහන්සේ විසිණි.
බෞද්ධ ග්‍රන්ථ,භාෂාන්තර භික්ෂක ග්‍රන්ථ,පරිවර්ථන කෘති,ජෝතිෂ ග්‍රන්ථ,වෛද්‍ය ග්‍රන්ථ,ඉංග්‍රීසි බාෂාවෙන් ලියැවුනු ග්‍රන්ථ සහ වෙනත් බොහේ වටිනා ග්‍රන්ථරත්ණයන් රාශියක් උන්වහන්සේ අතින් ලියැවී ඇත.
 |
මා සතුව ඇති උන්වහන්සේගේ සහ උන්වහන්සේ වෙනුවෙන් ලියැවුනු වටිනා පොත් කිහිපයක් |
ස්වාමි නාරායනාදන්,අරුණාචලයේ රමණ මහර්ෂි වැනි ඉන්දියානු යෝගීන්ගෙන් යෝග බාවනාව පිළිඹඳව පර තෙරටම හදාරා ඇති උන් වහන්සේ,අනගාරික ධර්මපාල තුමා,ඕල්කට් තුමා,ක්‍රිශ්ණමූර්ථි තුමා වැනි බුද්ධාගමේ උන්නතියට කටයුතු කළ බොහෝ ඇසූ පිරූ ඇත්තන් ලඟින් ඇසුරු කළ කෙනෙකි.
බළංගොඩ හාමුදුරුවෝ ඉන්දියාව මෙන්ම ප්‍රංශය,එංගලන්තය,ඇමෙරිකාව,වැනි අබෞද්ධ රටවලට වැඩම කරමින් අප ලොව්තුරා බුදුන්වහන්ස්වගේ ශ්‍රී සත්ධර්මය ව්‍යාප්තියට අනගි මෙහෙයක් ඉටු
කළ පුරෝගාමීන් අතර මුල්තැන ගත් උත්තමයෙකි.
සමථ බාවනාවෙන් පරචිත්ත විචාරණ සහ පුබ්බේනිවාසානුස්මෘති ඥාණය ද,විදර්ශණා බාවනාවෙන් සංකාර උපේක්ඛා ඥාණය දක්වාද සිත දියුණු කරගත් උන්වහ්සේට සෝවාන් වීම මගහැරී ගියේ බුදුවීමට තිබූ ප්‍රාර්ථනය හා අධිෂ්ඨානය නිසා බව මතුගම මහින්ද විජේතිලකගේ බලංගොඩ හාමුදුරුවෝ ග්‍රන්ථයේ සඳහන් වේ.
"මා දන්නව,මට විශ්වාසයි.ඉක්මනින්ම මා පරලොව ගියොත් ඉතාම ශ්‍රද්ධාවත් භක්තිමත් පවුලක දරුවෙකු වෙලා උපදින බව.මේ ආත්මේ කළාට වඩා ශාසනයේ දියුණුවට කටයුතු කිරීමට මට හැකිවෙනවා ඇති.ඒ නිසා මේ දුර්වල ශරීරයකින් යුක්තව තව තවත් ජීවත් වෙන්න මගේ ආශාවක් නෑ.නමුත් වෙන එකක් වෙච්චාවෙ.කොයි දවසෙ මැරුනත් මම භය නැහැ.මම දන්නව,මීලඟ ආත්මෙයේ ජාතිස්මරණ ඥානයෙන් යුක්ත වූ පැවිද්දෙක් මහජනයා ඉදිරියට අවුරුදු කිහිපයකින් එන බව,මගේ ප්‍රාර්ථනය ඒකයි."
සිය චිත්ත ශක්තියෙන් 1983 තිබූ මාරක අපළය මගහැර ගත් උන්වහන්සේ වසර 102 වන තෙක් ලාංකික හා සියලු ලෝක වාසී බෞද්ධයන්ගේ හිතසුව පිනිස ජීවත් ව, 1998 ජුලි මස 18 වෙනිදා සිය කුළුණු බර දෙනෙත් පියා ගත්හ.
උන්වහන්සේගේ ගුණ කදම්බය මෙවැනි කුඩා ජේද කිහිපයකට හකුළුවා ලීම ඉතාමත් අසීරුය.එහෙත් උතුම් සඟ ගුණයෙන් පරිපූර්ණ බුදුපුතෙකුගේ වත ගොත මෙසේ සටහන් කරමි.
ප.ලි
චීවරයට මුවාවී සියලුම අවැඩ සිදුකරන,දේශපාලනය කරන,දහස් ගණනට උතුම් සත්ධර්මය විකුණන,පංසල් වෙනුවට සත්මහල් ප්‍රාසාද ඉදි කරන,මිථ්‍යාදෘෂ්ඨීන් පතුරවන,ගෞතම බුද්ධ ශාසනයේ විනාශයට උඩගෙඩි දෙන චීවර ධාරින් මේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේගේ පයට පෑගුන වැලි පිඩකටවත් සමාන කිරීමට නොහැක.
මතු බුද්ධත්වයම පතන ඔබ වැනි බෝදිසත්වයන් වහන්සේ කෙනෙකු පාමුල දොහොත් මුදුන් තැබීමට මා කළ පින් නොසෑහුන බැවින්,බුදුන් වැඩි දේශයෙන්,ධර්මය රැකෙන දේශයෙන්,නිර්මල බුදුදහම මැකී යන්නට ප්‍රථම,ඔබවනසේගේ කරුණා බර දෙනෙත් නැවතන් මගේ ලක්මෑනියගේ තුරුළේ විකසිත වේවා!
මූලාශ්‍ර ග්‍රන්ථ,
මතුගම මහින්ද විජේතිලක:-සසුන'ඹර ගුරු තරුව බළංගොඩ හාමුදුරුවො
සමුද්‍ර වෙත්තසිංහ:-ආනන්ද මෛතීය මහනාහිමිගේ අප්‍රකට ලිපි.