Jun 8, 2016

ඔසි වෙසක් ඇන්ඩ් ආප්ප සැල්

ඊට පස්සෙ දවසෙ තිබුන බත් දන්සැල. මේක නම් ටොප් බඩු
වෙසක් එකක් කියන්නෙ ඒ කාලෙ නම් පොඩි උන්ට බොහොම කාර්යය බහුල මාසයක්. වෙසක් කූඩු,පහන් වැටවල් ගහන්න,අත් ටැක්ටරේක හරි, කැන්ටර් කට්ටක හරි එල්ලිලා වෙසක් බලන්න යන්න, දන්සැල් කන්න මේවගේ නනාවිද ක්‍රියාකාරකම් ගොඩයි.අපේ පොඩි කාලෙ ගෙවුනෙ ඔයවගේ වැඩ එක්ක. හැබැයි දැන් කතාව වෙනස්.වෙසක් කූඩු කඩෙන් අරන් එල්ලන කාලයක් මේක.දඬු මහත් වෙලා රට වෙනස් වුනා කියල නෑ දැන් උනත් මේ කාලෙට ඒ ගැම්ම තාම එනව.
මේ පාර වෙසක් එක සති අන්තයක යෙදිච්ච නිසා  මෙල්බන් වල වෙසෙන අපිට බොහෝ දේවල් කරගන්න ඕනවටත් වඩා වෙලාව තිබුන.වෙන අවුරුදුවල  නම් රැ දෙගොඩහරිය වෙනකම්ම වැඩ.පංසලක් පැත්තක අඩියක් ගහන්න වෙන්නෙ නෑ.
කතාවෙච්ච විදියට මායි අපේ තුන් හතර දෙනෙකුයි කරුවල වැටීගෙන එනකොට පිටත් උනා පංසල් යන්න.පංසලේ කට කපල සෙනඟ.සීතල කාලෙ නිස ගොඩක් පින්වත්තු එක එක පාට සීත කබා ඇදගෙන,බිනි දාගෙන, පංසල පුරා ඇවිදිනව.ඔසිරටේ ඉපදිච්ච පොශ් කෙල්ලො කොල්ලො තැන් තැන්වල ඉංගිරියෙන් කතා බහ.අපිත් සුපුරුදු චාරිත්‍ර ටික කරල, බුදුන් වැදල, පිටත්වුනා බණ මඩුව පිළිකන්නට.එතනනෙ සෙනග, පානුයි පරිප්පුයි දන්සැලක්,නිකන් දෙන දෙමළ පත්තරෙත් ගන්න අපි කිසි කතාවක් බහක් නැතුව දන්සැලට සෙට් වුනා.සුපුරුදු විදියට පෝලිම පැන පරිප්පු දීසියට තියපු පාන් පෙති දෙකත් අරන් අපිත් කොනකට වෙලා දන්සැල් කෑව.

"බෙරික් පංසලේ ආප්ප දන්සැලක් තියනව.යමුද?" පාන් පෙති දෙක එක හුස්මට ගිල්ල එකක් වතුර කෝප්පයක් බොන ගමන් කියපි. දෙපාරක් හිතන්නෙ නැතුව කට්ටියම එක පයින් කැමැත්ත පලකළා.
පොඩි වෙලාවකට පස්සෙ අපි බෙරික් පංසලේ.එතනත් පිරෙන්න සෙනඟ.ඒවගේම සීතල.පොඩ්ඩක් හරි උණුසිමක් තිබ්බෙ පහන් පත්තු කරන්න හදල තිබුන වීදුරු කුටිය ඇතුලෙ.ඒත් වටේම ඉන්න ගෑනු ටික ඒක අස්සෙ.පන්සලේ චයිත්‍ය පැත්තෙන් වැටිල තිබ්බ පඩ්පෙල දිගට චයිත්‍යට පිටුපාල  වාඩිවෙලා ඉන්න ළමයි ටිකක් ඉන්ගිරිසියෙක් කෑ කෝ ගගහ ආප්ප කනව. එයාලගෙ දෙමවුපියො ඒ ලඟම තියන විදුලි ආලොක කනුවකට හේත්තුවෙලා බර කතාවක.වෙසක් එක පොශ් වෙලා.බුදුන් පැත්තක.වෙන මොකක්දෝ එකක් ඉස්සර වෙලා. ඊටත් ඉස්සරහින් තියන සලාවෙ දිගට පෝලිම.ආප්ප කන්න තිබුන ආසාවට අපේ සෙට් එකත් එතනට ගියා. ටික වෙලාව පෝලිමෙ ඉන්නකොට කට්ටිය උණු උණු ආප්ප අරගෙන එනව.ආසාවෙ බෑ. සමහර අය හිස් අතින් එනව.එහෙන් මෙහෙන් පෝලිම පැනල ඔලුවක් දාල බැලුව. දන්සැලක් කියල හිතුවට ඒක "දන්" සැලක් නෙමෙ නිකම්ම නිකන් සැලක්. පෝලිමේ ඉන්න සැදැහැවතුන් සල්ලි ගෙව ගෙව ආප්ප ගන්නව.ආප්ප සිහිනය අමතක කරල පංසලෙන් එලියට බහින කොට තමයි ඉස්සරහ හිටවල තිබුන බෝඩ් කැල්ල දැක්කෙ.
වෙසක් එකට පහු වෙනිද මෙහෙ නැටුම් කන්ඩායමක දැරිවියො ටිකකුයි,තව ලංකාවෙ කෑම කඩයකුයි එකතුවෙලා කරපු බත් දන්සැල නම් මරු.බත් කාල කන්න හිම කිරමකුත් දුන්නනෙ නටන නංගියෙක්.

 

May 25, 2016

පංසල සහ අසපුව

පොල්ගෙඩි වගේ වැටෙන දාරාණිපාත වැස්සට පාරට අලියෙක් පැන්නත් පේන්නෙ නෑ.දිගට ඇදෙන වාහන පෝලිමේ සුඇඟිල්ල ගහන්න පුලුවන් හිස්තැනෙත් ත්‍රීවීල් බුවෙක් ඇවිත් හොම්බ ඔබා ගන්නව.මාලබේ පාර පිරෙන්න වාහන.

"පුදුම ට්‍රැෆික් එකක් නෙ මේක.මෙච්චර වාහන ගොඩක් මගෙ ජීවිතේට දැකල නෑ." මම කතාවට මුලපිරුව.
"අද පෝයනෙ මිනිස්සු පංසල් ඇවිත්." අපේ එකා සුක්කානමට බරවෙලා මට උත්තර දුන්න.පහුගිය ජනවාරියෙ ලංකාව ආපු වෙලාවෙ මගේ යාලුවෙකුගෙ ගෙදර යන්න මමයි මල්ලී වහනේට නගිනකොට හවස හතරට විතර ඇති.

මොරසූරන වැස්ස සත පහකට මායිම් නොකර මිනිස්සු පංසල් යනව. හිතට දැනුනෙ බොහොම ප්‍රියමනාප හැඟීමක්.කල්පනාවෙන් කල්පනාවෙන් අපේ රෝද හතර SLIIT එකත්  පහුකරගෙන වාහන පෝලිම අස්සෙන් ඉස්සරහට ඇදෙනව.වැහි වතුරට බොඳ වෙච්ච ඉදිරිපස කන්නාඩියෙන් රත්තරන් පාටට බොහොම උසට පේන චායාව වැස්ස අස්සෙ හරියට අඳුර ගන්න බෑ.විශාල ස්තූපයක්. වටේම තියන උස පොල් ගස් ලිලිපුට්ටො තරමට පේන ගලිවර ගොඩනැගිල්ලක්.

"දෙයියනේ මේ මහමෙවුනාව නේද? " මට එකපාරටම කියවුනා.

අවුරුදු දෙක තුනකට කලියෙන් ලංකාවට ආපු වෙලාවෙ පුංචි තාප්පෙකින් වටවෙච්ච,පොඩි ගොඩනැගිල්ලක තුබුන අසපුව අද පතායෝධයෙක් වගේ අහස උසට ගොඩනැගිල. ඉස්සරහින් නයිපෙන හතක් යට වැඩ ඉන්න ලොකු රන්මුවා බුද්ධ ප්‍රතිමාවක්. බොහොම ජැන්ඩියට සුදු වතින් සැරසිච්ච උපාසක උපාසිකාවො අසපුවට ඇවිත්. ඒ උත්තමයන්ගෙ සුපිරි රථ පෝලිමට අසපුවේ ගෙට්ටුව ගාව.කඩි ගුල ඇවිස්සුව වගේ මිනිස්සු පාර පනිනව.මල් විකුණන,තෙල් හඳුන්කූරු විකුණන, කීයක් හරි හොයාගෙන බඩවියත රැකගන්න මහන්සිවෙන මිනිස්සු මහ වැස්සෙ අරියාදුව මායිම් නොකර පුංචි කුඩ අස්සට වෙලා ගිරිය පුප්පගෙන කෑමොර දෙනව.හරියට වෙසක් පෝයට කැලණි පංසල් ගියා වගේ.සැදහැති නෝනල යාන්තමට පහත් කරපු වාහන වල දොර කවුලුවලින් පිං ඇති දෑත් දිගුකරගෙන මල් මිලදී ගන්නව.

"එන්න... වාසනාව... ගන්න... රුපියල් ලක්ෂ හැටයි...ශනිදා වාසනාව...අද රාත්‍රී දිනුම් අදිනවා...."

සුයිප් විකුණන මල්ලිගෙ තනි කටේ ලවුස්පීකරේ, අසපුවේ පිරිත් සද්දෙ යටකරගෙන ඇහෙනව. වැස්සෙන් බේරෙන්න ශොපින් බෑග් වලින් ඔලුව වහගත්තු දෙතුන් දෙනෙක් ටිකට් කූඩුවේ පුංචි වැහි ආවරනෙ යටට වෙලා වාසනාව හූරණව.හිස් ටින්,බෝතල්, කුණු අස්සෙන් බුබුලු දාදා වේගෙට ඇදෙන වතුර පිරුණ මඩ කානුවට උඩින් නවත්තල තියන කෑම කරත්ත දෙක තුනකින් කිරි සුදට දුම් පිටවෙනව.වැහි බේරුමට ඒව වටේට විසිරිලා.හරියට වලාකුළු පාත්වෙලා වගේ

"වඩේ... වඩේ.. උණු උණු ඒව... ඉස්සො වඩේ."

පිංවත් සිවාමීන්වහන්සෙගෙ සුමධුර ධර්මදෙශනාව අහවර කරපු, අසපුවෙන් නික්මෙච්ච මිනිස්සු වඩේ කරත්තෙ වටකරගෙන උණු උණු ඉස්සො වඩේ ගන්න පොරකනව.බොහොම අමාරුවෙන් මේ කලබගෑනිය මගඇරල අපේ වාහනේ ඉස්සරහට ඇදුන. මීටර් සීයක් විතර ඉස්සහින් පාරට දකුණු පැත්තෙන් පිට්ටුගල පන්සල,නුවර පාරට මූන දාල තියෙන පංසලේ ගරා වැටුන ප්‍රධාන පඩිපෙල හරස් කරල හිටවපු සරුවට වැවිච්ච ඇල්බීසිය ඳඩු දෙක තුනක් වැහෙන්න ඉටි කොලයක් ඇදල.පඬු පාට රෙදිවලින් වටකරපු කොන්ක්‍රීට් මුරගල් වැස්සට තෙන බරිත වෙලා.වැස්සත් පීරගෙන ඉදිරියට ඇදෙන වාහනේ රේඩියෝවෙන් ඇහෙන සිංදුවට කන්දීගෙන මම කල්පනාවකට වැටුන.  

"මහමෙවුනාවට සිල් වැහි වැහිනව හැම මාසයකම පොහෝ දිනේ
ගමේ විහාරෙට වැහි බිඳුවක් නෑ වෙනසක් යි බුදු පියානනේ"

May 12, 2016

රාජ්- අවසාන කොටස


"ඔය බඩේ රිදිල්ල එච්චර හොඳ එකක් නෙමේ, දොස්තර කෙනෙකුට පෙන්නුවොත් නරකද?"
පිටර්,රාජ්ගෙ සගය, හැම වෙලාවෙම සිය උදර මිරිකගෙන වේදනාවෙන් ඇඹරෙන  රාජ් දිහා බලාගෙන කියපු කතාව.


රාජ්ට යන්නතමට සිහිය එනකොට හැමදෙයක්ම බොඳ වෙච්ච චායාවක් වගේ මතක්වෙන්න ගත්ත.ඔහුට ඇතිවෙච්ච උදරයේ වේදනාවත් එක්ක සිහිනැතිවෙලා බිම ඇවැටුනු හැටි.ඔහුව ගිලන් රථයක දාමාගෙන රෝහලට අරගෙන ආපු හැටි.මේ සියල්ලම ටිකෙන් ටික ඔහුගෙ මතකයට ගලාගෙන ආව.


"රාජ් ඔයාට ඔපරේශන් එකක් කරන්න උනා.ජීවිතේ ලොකු අවධානමක තිබුනෙ. රිපෝට්ස් ආවම අපි බලමු මොකද වෙන්නෙ කියල."


ඒ වාට්ටුව භාරව රාජකාරිය කරපු ප්‍රධාන වෛද්‍ය තුමා දවස් දෙක තුනකට පස්සෙ සම්පූර්ණයෙන් සිහිය ලැබිච්ච රාජ්ව අමතල කියපු කතාව.


සති කිහිපයකට පස්සෙ රෝහලෙන් නිදහස් වෙච්ච රාජ් ආපහු සිය නිවසට ආව. ඒ එන කොටත් පාසැලේ ගුරුවරු සහ ශිෂ්‍යයො  බොහෝ දෙනෙක් ඔහුගෙ නිවසට ඇවිත් හිටිය. හිස් අතින් ම නෙමේ. තෑගි බෝග, කෑම වර්ග නිවස පිරෙන්න.මෙතක් කාලයක් කාටවත් නොකියා ආරක්ශා කරපු දෙයක් එදා මුළු පාසැලම දැනගත්ත. ඒ රාජ්ගෙ පුංචි දුවගෙ රෝගීභාවය.

"මේ මනුස්සය මෙච්චර දෙයක් තියාගෙන අපිට නිකමට වත් කිවුවෙ නෑ.එයාටත් කැන්සර් එකක් කියල දැනගත්තම කොහොම දාරාගනීද කියන එක හිතාගන්න බෑ."
ඒ පාසැලේ බොහෝ ගුරුවරු කතා වෙච්ච දෙයක්.
  
                    ...........................................................................................
නත්තල් නිවාඩුව ඉවර වෙලා ආපහු පුරුදු විදියට රැකියාවට ගියත් වෙනට දකින රාජ්ගෙ මුහුණ ඒදා දකින්න ලැබුනෙ නෑ.දින දෙක තුනක්ට පස්සෙ කෙටි පණිවිඩයකින් මම ඔහුව මතුව.


“රාජ්.
සුභ අලුත් අවුරුද්දක් වේවා! මොකද වැඩට එන්නේ නැත්තෙ? හැමදේම හොඳින් ඇති කියල හිතනව.
දිනේෂ්.”


වැඩි වෙලාවක් යන්න කලියෙන්ම දැනගන්න ලැබිච්ච නරක ආරංචිය නිසා,මගේ පණිවිඩයට පිළිතුරු නොලැබීමට හේතු හොයන්න  මට තිබ්බ වුවමනාව නැතිවෙලා ගියා.
රජ්ගේ කුඩා දියනිය තාලියා!  එයා රාජ්වයි, එයාගෙ අම්මවයි දාල මේ ලෝකෙන් යන්න ගිහින්. සදහටම.

මුලු පාසැලටම මේක දරාගන්න බැරි ප්‍රවෘත්තියක් වුනා.රාජ්ගෙ කුඩා දියනිය වෙනුවෙන් කණගාටුව පළකරල  ලියවිච්ච කාඩ් පත් වලින් ඔහුගෙ කාර්යාලය පිරෙන්න ගත්ත.පාසැලේ විදුහල්පති තුමා මුළු ඉස්කෝලෙම ගුරුවරු එක්ක තාලියාට අවසන් ගෞරව දක්වන්න එකතු උනා. එදා හැමෝම ශෝක වෙච්ච දවසක්.සුසානභූම්යේ සිය දියනිය නියමවෙච්ච පුංචි ඉඩ දිහා බලාගෙන, ජීවිතේ පිළිඹඳ බොහොම අවිනිශ්චිත බැල්මකින් ඇස්දෙක පුරෝගෙන රාජ් තාලියාට සමුදුන්න.

මේක ඇත්ත කතාවක්! නම් ගම් ඇරෙන්න.

May 2, 2016

බක් මහේ බක්ස් පාටිය

ඉස්සර බක් මහට එන අලුත් අවුරුදු ගැම්ම දැන් දියාරු වී ගොසිනි.කැවුම් සුවඳ නැත.කොහා පැත්ත පලාතකවත් නැත. එල්ලේ පාරක් ගැසීමට කුඹුරු වැඩ අහවර වූ, අඩක් කැපූ, වියලී ගිය ගොයම් ගස් පිරි වෙල් යායක් හොයා ගැනීම ඉතා අසීරුය.දැන් හැදෙන වුන් අලුත් අවුරුද්ද සත පහකට ගනන් ගන්නේ නැත .
අපේ කාලයේ ඇඟටම පදම් වූ අලුත් අවුරුද්ද, කාලයත් සමග යකාට ගොස් ඇතැයි විටෙක සිතේ.වෙසක්, පොසොන්,සරුංගල්, ජිල් බෝල,දියකඩිති,කිරල බට තුවක්කු එකී මේකි නොකී සියළු දෑ, තාක්ෂණයට ස්තූති වන්නට නැතිවී ගොසිනි.ඇත්තේ පම්පෝරි ගැසීමට ඉතුරු වූ සුන්දර අතීතයක් පමණි.


යන්නේ කොහේද? මල්ලේ පොල් වැනි මාතෘකාවක් හා ආරම්භයක් ඇතත්, කතාව අවසානයේදී මේ දෙක සමපාත වනු ඇතැයි සිතමි.
කතාව මෙසේය...


මාගේ සහෘදයෙකුට ඉතාම ආසන්න දවසක මහ උලු ගෙදර යාමට නියම වී ඇත. මොකක් නමුත් හේතුවකට සෙට් වෙන්නට බලා සිටින අපේ කණ්ඩායමට මෙය අමෘතය බඳු විය.


අඩෝව්.. මේව මෙහෙම යන්න දෙන්න බෑ. මොනව හරි ලොකුවට කරන්න වෙනව. කසාදයක් කියන්නෙ සෙල්ලං දෙයක් නෙමේ


සංවිධායක වරු වැඩේට බැස්සෝය.ඉන්නට නවාතැනක්, කළබලකාරී නගරයට බොහේ ඈතින් පාලු ප්‍රදේශයකින් සොයාගනු ලැබින. කෑමට බීමට සහ වෙනත් දෑ වලට ගනන් හිලවු සාදා අවසාන විය.


හැමෝම සරං අරගෙන වරෙව්! එදාට අවුරුදු සෙල්ලම් තියනව


ඉපදී මාස කිහිපයකින් සිය රට දාමා ආ, සුද්දන්ගේ රටේ උන්ගේ  පාසැලට ගොස්,කඩ්ඩෙන් ඉගෙන ගත් එකක් එසේ කීවේය.ගමනට එකතුවූ මුළු ගණන තිහකට ආසන්න විය.


කොල්ලොම තිහක් විතර! මරුවට තියෙයි”. එකෙකු කීවේය.


බොහෝ නිස්කලංක පරිසරයක, බලු බල්ලෙක් නැති පාලු ගොවිපොලක පිහිටා තිබූ නවාතැන, රැ එලිවෙන තුරු ගිරිය පුප්පාගෙන කෑ මොරදෙන අපේ වුන්ට දිවි විමනක් බඳු විය.බොහෝ විට බෝතලයක් කඩා ආරම්භවන සාදය, කිලෝ පහක බාස්මතී හාලේ කිරිබත්,ලුණුමිරිස්,කැවුම් හා කොකිස්, කෙසෙල් වැනි අවුරුදු කෑම වලින් පිරී තිබුනි.


"හැමෝම ඇඳපියවු ගෙනාපු සරං. මේක සිංහල අවුරුද්ද! "යොජනාව කළ එකා ගුගුළේය.

වීදුරු ගැටෙන හඬට චියර්ස් හඬ මුසුවෙනවා වෙනුවට හැමෝම එක එකා බදා අලුත් අවුරුද්දර සුභ පැතුවෝය. හිර ගෙදරට යන එකාගේ අතින් දැල්වූ ඉටිපන්දම් ආලෝකයෙන් කෑම මේසය විවෘත්ත විය.වසර තුනකට පෙර සිය රට ගිය කාලයේ, අපේ ගෙදර අවුරුදු කෑම මේසයට පසු මෙහෙම සරුවට කෑම මේසයක් දැක්කේ එදාය.



ඉස්මුරුත්තාව එන තරමට කිරිබත් ගිල දමා ටික වේලාවකට පසු අලුත් අවුරුදු තරඟ ආරම්භ විය.එකෙක් මේසයක් මත පින්තාරු කරගෙන ආ අලි රුව බීර පීප්ප දෙකක් මත තැබීය.හැඳි සහ බිත්තර තවෙකෙක් ගෙනාවේය.


දෙහි නෑ බං! බිත්තර තියනව.බින්ද එකාට හෙට උදේට බිත්තරේ නෑ.”


දරු මල්ලෝ හදන වයසේ වුන්,පොඩි වුන් මෙන් අවුරුදු සැමරූහ. අලියාට ඇස තැබුවෝය.හැන්ද මත බිත්තර තාබාගෙන ගියෝය. ඇඳසිටි සරං උනා මීටර් සීය දිවීය.තරගාවලිය අවසනයේ කුඩා තෑගි ප්‍රධානෝත්සවයක්ද තැබුවෝය.


මේ සියල්ල අවසාන වනවිට බොහේ රෑබෝවී තිබින.ඉන්පසු ගිටාර් කටු, ඩ්‍රම් කටු ගෙන, රෑ එලිවෙනතුරු ගී ඟඟුලක කිමිදුනෝය.කාමර හත අටකට වඩා තිබූ නවාතැනේ බොහේ ඇදන් හිස්ව තුබුනි. මා ඇරෙන්නට තව එකෙකු නිදා ගත්තාදැයි නොදනිමි.

හෙලුවැලි ගෑනු නටන බක්ස් පාටි, හැඩි දැඩි අයෝමය මිනිසුන් ශිෂ්ණ වනන හෙන්ස් පාටි සංස්කෘතිය සිංහල රටේ හරි හරියට සිදුවෙන විට, මගේ සහෘදයින් අලුත් අවුරුද්ද අමතක නොකර හැසිරුන ආකාරය ගැන මට බොහේ ආඩම්බර විය හැක.සංස්කෘතිය බල්ලාට ගෙස් සුද්දාගේ අහවල් එක වැළඳගන්නා රටක, සිය සංස්කෘතිය රැකගැනීමට පිට රටක ඉපදුනු උන්ට ඇති කැක්කුම ගැන ආඩම්බර විය හැක.



Apr 26, 2016

රාජ්

රාජ්! ඒ හැමකෙනෙක් ම ඔහුව ආමන්ත්‍රණය කරපු නම.රාජ් කුමරස්වාමි මට මුන ගැහිල අද වෙනකොට වසරක් ගතවෙලා.උප්පතියෙන් දකුණු ඉන්දීය ජාතිකයෙක් වුන රාජ්, වැඩි උස මහත නැති, ප්‍රියමනාප පෙනුමක් හෙබි, බොහොම කාරුණික ගති ඇති ආසියාතිකයෙක්.මට හිතෙන හැටියට ඔහුත්, ඔහුගෙ බිරිඳ ගීතාත්, ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා අද වෙනකොට බොහෝ කාලයක් ගතවෙලා ඇති.


රාජ් රැකියාව කරන පාසැලේ බොහෝවිට ඉගෙන ගත්තෙ තරමක් ඉහල පැලැන්තියේ ධනවත් පවුල් වල ළමයි.ඔවුන් බොහොමයක් ස්වබාවයෙන්ම හිතුවක්කාරයි. නමුත් අපේ කතා නායකය මේ මුරණ්ඩු ළමුන්ට සැලකුවෙ බොහොම කාරුණික විදියට.හරියටම කියනව නම්, තමන්ටත් මේවගේම ළමා කාලයක් තිබුන නේද කියන සිතිවිල්ල හිතේ තියාගෙන වගේ.දිවා ආහාර වේලාවට පවා රාජ්ගෙ ඔෆිස් කාමරේ ඉදිරියේ තියන කොරිඩෝව දිගේ එක සීරුවට දුවන මේ පොඩි උන්ගේ ගෝරනාඩුවට වත් සැරෙන් සැරේට ඔෆිස් කාමරේ දොරට තඩිබාල අහන අහිංසක ප්‍රශ්ණ වලටවත් කිසිම අමනාපයක් නැතිව ප්‍රතිචාර දක්වන්න තරම් ඔහු කාරුණික වුනා.


                                   .................................................................... 


                                       යාන්තමට දිස්වෙන ලා නිල්පාට දර්ශණ බොහොම වේගයෙන් වෙනස් වෙනව.හිසට උඩින් අයෝමය විදියට සුදුපාට ආලෝකයක් දහවල් හිරුගේ ගිහි පුපුරු වලට වඩා චණඩව රාජ්ගෙ මුහුනට පතිත වෙමින් තිබුන.යකඩ උපකරන ගැටෙන හඬ, නොනවත්වා ඇසෙන බීප් නාදය ඔහුගේ මනසට අරගෙන ආවෙ ලොකු ප්‍රශ්ණාර්ථයක්. නමුත් තමන්ගේ වටපිටාවෙ මේ සිද්ධවෙන වෙනස්වීම් අනුමාන කරගන්න තරම් කල්පනාවක් රාජ්ට තිබුනෙ නෑ.

                                   .................................................................... 


තාලියා! ඒ රාජ්ගේත් ගීතාගේත් එකම ව
ස්තුව. රාජ්ගෙ පුංචි දෝණි.එයා මේ ලෝකෙ එළිය බලන වෙලාවෙ, රාජ්ට අරගෙන ආපු සතුට අතරට ලොකු දුකකුත් එකතු වෙලා තිබුන. තාලියාට දරුණු රෝගයක් වැලඳිලා.අලුත ඉපදෙන අනිත් කිරි කැටියො වගේ ඇය ඇඬුවෙ නෑ. පුංචි අත පය සෙලෙව්වෙ නෑ.ඇය හිටපු වාට්ටුවේ දොස්තර වරු කිවුවෙ ඇයව වැඩිකාලයක් ජීවත් කරන්න බැරිවෙයි කියල.ඇයට දරුණු ස්නායු රෝගයක්.රාජ්ගෙ මුලු ජීවිතේම කඩා වැටෙන්න ගත්ත.


පුංචි තාලියාට වසර තුනක් පිරෙන උපන්දිනේට රෝහලේ සියලුම දනා එකතුවෙලා.රෝහල් කාමරය පාවෙන පාට පාට බැලුම් වලින් පිරිල. රාජ් එයාගෙ බිරිඳත්, මේ චුටි කෙල්ල දිහා බලාගෙන හිනාවෙනව.බොහොම විඩා පත් වෙච්ච පුංචි ඇස් දෙකෙන් තමන්ගෙ දෙමව්පියො දෙන්න දිහා බලාගෙන ඇයත් යන්තමට හිනා වෙනව. ඒ ඇගේ පාලනයෙ තිබු එකම අවයවය. ඉතින් ඇය හැම දේටම හිනා වුනා. රාජ් සිය දියණියව වසර තුනක් ජීවත් කරවල.ජීවත් කරවන්න බෑ කියපු තාලියා ඇගේ වසර තුනේ උපන් දිනය බොහොම ඉහලින් සැමරුව.


ඉතිරිය ලබන සතියට...

Apr 20, 2016

රේස් පොලේ කේක් කඩේ

මගේ කුස්සි රස්සාව දමල ගහල ආවට පස්සෙ කුස්සියක් පැත්ත පලාතක පස් පාගන්න බැරි උනා. කාලයක් ගියාට පස්සෙ එපාවෙලා තිබ්බ ආසාව ආපහු මතුවෙන්න ගත්ත. අද කියන්න යන කතාව කුස්සියකට සමපාත නොවුනට පොඩ්ඩක් විතර කෑමට සම්බන්ධයි.
“මේ..! Cake expo එකක් තියනව.අනේ මට කොහොම හරි යන්න ඕනෙ
අපේ හාමිනේ ගෙන් හෙන කරදරේ. මමත් ඉතින් බෑ කියන්න බැරි කමටයි(චාරටේ කන්න වෙන බව දන්න නිසා) බේකින් වලට තිබ්බ පොඩි ආසව නිසායි වැඩේට හා කිවුව.
සති ගානකට කලින් ටිකට් එහෙම අරගෙන, ගජරාමෙට අපේ එක්කෙනා ලැස්ති වෙනව කේක් වැඩ කිඩ බලන්න යන්න.මමත් ඉතින් ඇටි කෙහෙල් කාපු රිලව වගේ, වෙන දේ බලාගෙන ඉන්නව.ඔහොම ගිහිල්ල, ගිහිල්ල ඉතින් යන දවස ආව.කේක් පොලේ තිබ්බෙ මෙල්බන්වල ගොඩක් ප්රසිද්ධ, Melbourne Cup අස්ස රේස් එක දුවන Flemington Racecourse එක ගාව තියන showgrounds වල.
 “මේ අපි උදෙන්ම යමු අනේ.සෙනග පිරිල ඇති.”
 “කීයටද?”
 “පැයක් විතර යනවනෙ යන්න .අපි ගෙදරින් අටට වත් යමු..”
 නිවාඩු දවසට පස්සට ඉර පායන කම් බුදියගන්න මගෙ නින්දටත් ඉතින් කෙල වුනේ එහමයි.
මමත් ඉතින් උදේ පාන්දරින්ම ඇහැරිලා මහා කේක් ප්රදර්ශනේ බලන්න යන්න ලැස්ති උනා.
 “මට මේක ගිය පාරත් මිස් උනා අනේ.ඔයා යන්න හා කියපු එක හරි ශොක්.”
“හ්ම්ම්ම්ම්.....”
දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන, කඩේ කින් කෝපි එකක් එහෙම ගහගෙන අපිදෙන්න යන්න පිටත් උනා. පැයක් විතර වාහනේ එහෙට මෙහේට පැදල, අපි අපේ ගමනාන්තයට ලඟා වුනා.
වාහනේ පාක් එකට දාන කොටම ගේට්ටුව ගාව හිටගෙන හිටපු ඔසිය කියනව
“10 ඩොලස් ෆොර් පාකින් මේට්! ”
ඒකත් ගෙවාගෙන,වාහනෙත් පාක් කරල, ගියා ඇතුලට.දොර ලඟ හිටගෙන හිටපු, අයිසිං කේක් එකක් වගේ ලස්සන ගැල්ලමෙක් මගේ අත අල්ල, ගැහුව සීල් එකක්.
"Paid"
………………………………………………………………………………………………………………………………………………….
“මේ මොකක්ද මේ..”
“ඇයි?”
“මෙච්චරද?”
 යාන්තම් කාර් තුන හතරක් පාක් කරන්න පුලුවන් තරමෙ පොඩි හෝල් එකක,පොඩි පොඩි කඩ කැලි දහයක් පහලවක් තියනව. ඒවයෙනුත් වැඩි හරියක් කරන්නෙ කේක් හදන්න උවමනා වෙන ගැජමැටික් විකුනන එක.
වෙසක් එකට කැරකෙන කූඩුවක් බලනව වගේ වට හතරක් පහක් ගිහින් අපේ එක්කෙනා කියනව.
 “අපරදෙ සල්ලි. අපි යං අනේ යන්න! “
 එයාගෙ කේක් සිහිනය බොඳ වුනේ ඔන්න ඔහොමයි!
Related Posts Plugin for WordPress, Blogger...