පොල්ගෙඩි වගේ වැටෙන දාරාණිපාත වැස්සට පාරට අලියෙක් පැන්නත් පේන්නෙ නෑ.දිගට ඇදෙන වාහන පෝලිමේ සුඇඟිල්ල ගහන්න පුලුවන් හිස්තැනෙත් ත්‍රීවීල් බුවෙක් ඇවිත් හොම්බ ඔබා ගන්නව.මාලබේ පාර පිරෙන්න වාහන.
"පුදුම ට්‍රැෆික් එකක් නෙ මේක.මෙච්චර වාහන ගොඩක් මගෙ ජීවිතේට දැකල නෑ." මම කතාවට මුලපිරුව.
"අද පෝයනෙ මිනිස්සු පංසල් ඇවිත්." අපේ එකා සුක්කානමට බරවෙලා මට උත්තර දුන්න.පහුගිය ජනවාරියෙ ලංකාව ආපු වෙලාවෙ මගේ යාලුවෙකුගෙ ගෙදර යන්න මමයි මල්ලී වහනේට නගිනකොට හවස හතරට විතර ඇති.
මොරසූරන වැස්ස සත පහකට මායිම් නොකර මිනිස්සු පංසල් යනව. හිතට දැනුනෙ බොහොම ප්‍රියමනාප හැඟීමක්.කල්පනාවෙන් කල්පනාවෙන් අපේ රෝද හතර SLIIT එකත් පහුකරගෙන වාහන පෝලිම අස්සෙන් ඉස්සරහට ඇදෙනව.වැහි වතුරට බොඳ වෙච්ච ඉදිරිපස කන්නාඩියෙන් රත්තරන් පාටට බොහොම උසට පේන චායාව වැස්ස අස්සෙ හරියට අඳුර ගන්න බෑ.විශාල ස්තූපයක්. වටේම තියන උස පොල් ගස් ලිලිපුට්ටො තරමට පේන ගලිවර ගොඩනැගිල්ලක්.
"දෙයියනේ මේ මහමෙවුනාව නේද? " මට එකපාරටම කියවුනා.
අවුරුදු දෙක තුනකට කලියෙන් ලංකාවට ආපු වෙලාවෙ පුංචි තාප්පෙකින් වටවෙච්ච,පොඩි ගොඩනැගිල්ලක තුබුන අසපුව අද පතාක යෝධයෙක් වගේ අහස උසට ගොඩනැගිල. ඉස්සරහින් නයිපෙන හතක් යට වැඩ ඉන්න ලොකු රන්මුවා බුද්ධ ප්‍රතිමාවක්. බොහොම ජැන්ඩියට සුදු වතින් සැරසිච්ච උපාසක උපාසිකාවො අසපුවට ඇවිත්. ඒ උත්තමයන්ගෙ සුපිරි රථ පෝලිමට අසපුවේ ගෙට්ටුව ගාව.කඩි ගුල ඇවිස්සුව වගේ මිනිස්සු පාර පනිනව.මල් විකුණන,තෙල් හඳුන්කූරු විකුණන, කීයක් හරි හොයාගෙන බඩවියත රැකගන්න මහන්සිවෙන මිනිස්සු මහ වැස්සෙ අරියාදුව මායිම් නොකර පුංචි කුඩ අස්සට වෙලා ගිරිය පුප්පගෙන කෑමොර දෙනව.හරියට වෙසක් පෝයට කැලණි පංසල් ගියා වගේ.සැදහැති නෝනල යාන්තමට පහත් කරපු වාහන වල දොර කවුලුවලින් පිං ඇති දෑත් දිගුකරගෙන මල් මිලදී ගන්නව.
"එන්න... වාසනාව... ගන්න... රුපියල් ලක්ෂ හැටයි...ශනිදා වාසනාව...අද රාත්‍රී දිනුම් අදිනවා...."
සුයිප් විකුණන මල්ලිගෙ තනි කටේ ලවුස්පීකරේ, අසපුවේ පිරිත් සද්දෙ යටකරගෙන ඇහෙනව. වැස්සෙන් බේරෙන්න ශොපින් බෑග් වලින් ඔලුව වහගත්තු දෙතුන් දෙනෙක් ටිකට් කූඩුවේ පුංචි වැහි ආවරනෙ යටට වෙලා වාසනාව හූරණව.හිස් ටින්,බෝතල්, කුණු අස්සෙන් බුබුලු දාදා වේගෙට ඇදෙන වතුර පිරුණ මඩ කානුවට උඩින් නවත්තල තියන කෑම කරත්ත දෙක තුනකින් කිරි සුදට දුම් පිටවෙනව.වැහි බේරුමට ඒව වටේට විසිරිලා.හරියට වලාකුළු පාත්වෙලා වගේ
"වඩේ... වඩේ.. උණු උණු ඒව... ඉස්සො වඩේ."
පිංවත් සිවාමීන්වහන්සෙගෙ සුමධුර ධර්මදෙශනාව අහවර කරපු, අසපුවෙන් නික්මෙච්ච මිනිස්සු වඩේ කරත්තෙ වටකරගෙන උණු උණු ඉස්සො වඩේ ගන්න පොරකනව.බොහොම අමාරුවෙන් මේ කලබගෑනිය මගඇරල අපේ වාහනේ ඉස්සරහට ඇදුන. මීටර් සීයක් විතර ඉස්සරහින් පාරට දකුණු පැත්තෙන් පිට්ටුගල පන්සල,නුවර පාරට මූන දාල තියෙන පංසලේ ගරා වැටුන ප්‍රධාන පඩිපෙල හරස් කරල හිටවපු සරුවට වැවිච්ච ඇල්බීසිය ඳඩු දෙක තුනක් වැහෙන්න ඉටි කොලයක් ඇදල.පඬු පාට රෙදිවලින් වටකරපු කොන්ක්‍රීට් මුරගල් වැස්සට තෙන බරිත වෙලා.වැස්සත් පීරගෙන ඉදිරියට ඇදෙන වාහනේ රේඩියෝවෙන් ඇහෙන සිංදුවට කන්දීගෙන මම කල්පනාවකට වැටුන.
"මහමෙවුනාවට සිල් වැහි වැහිනව හැම මාසයකම පොහෝ දිනේ
ගමේ විහාරෙට වැහි බිඳුවක් නෑ වෙනසක් ඇයි බුදු පියානනේ"