May 25, 2016

පංසල සහ අසපුව

පොල්ගෙඩි වගේ වැටෙන දාරාණිපාත වැස්සට පාරට අලියෙක් පැන්නත් පේන්නෙ නෑ.දිගට ඇදෙන වාහන පෝලිමේ සුඇඟිල්ල ගහන්න පුලුවන් හිස්තැනෙත් ත්‍රීවීල් බුවෙක් ඇවිත් හොම්බ ඔබා ගන්නව.මාලබේ පාර පිරෙන්න වාහන.

"පුදුම ට්‍රැෆික් එකක් නෙ මේක.මෙච්චර වාහන ගොඩක් මගෙ ජීවිතේට දැකල නෑ." මම කතාවට මුලපිරුව.
"අද පෝයනෙ මිනිස්සු පංසල් ඇවිත්." අපේ එකා සුක්කානමට බරවෙලා මට උත්තර දුන්න.පහුගිය ජනවාරියෙ ලංකාව ආපු වෙලාවෙ මගේ යාලුවෙකුගෙ ගෙදර යන්න මමයි මල්ලී වහනේට නගිනකොට හවස හතරට විතර ඇති.

මොරසූරන වැස්ස සත පහකට මායිම් නොකර මිනිස්සු පංසල් යනව. හිතට දැනුනෙ බොහොම ප්‍රියමනාප හැඟීමක්.කල්පනාවෙන් කල්පනාවෙන් අපේ රෝද හතර SLIIT එකත්  පහුකරගෙන වාහන පෝලිම අස්සෙන් ඉස්සරහට ඇදෙනව.වැහි වතුරට බොඳ වෙච්ච ඉදිරිපස කන්නාඩියෙන් රත්තරන් පාටට බොහොම උසට පේන චායාව වැස්ස අස්සෙ හරියට අඳුර ගන්න බෑ.විශාල ස්තූපයක්. වටේම තියන උස පොල් ගස් ලිලිපුට්ටො තරමට පේන ගලිවර ගොඩනැගිල්ලක්.

"දෙයියනේ මේ මහමෙවුනාව නේද? " මට එකපාරටම කියවුනා.

අවුරුදු දෙක තුනකට කලියෙන් ලංකාවට ආපු වෙලාවෙ පුංචි තාප්පෙකින් වටවෙච්ච,පොඩි ගොඩනැගිල්ලක තුබුන අසපුව අද පතායෝධයෙක් වගේ අහස උසට ගොඩනැගිල. ඉස්සරහින් නයිපෙන හතක් යට වැඩ ඉන්න ලොකු රන්මුවා බුද්ධ ප්‍රතිමාවක්. බොහොම ජැන්ඩියට සුදු වතින් සැරසිච්ච උපාසක උපාසිකාවො අසපුවට ඇවිත්. ඒ උත්තමයන්ගෙ සුපිරි රථ පෝලිමට අසපුවේ ගෙට්ටුව ගාව.කඩි ගුල ඇවිස්සුව වගේ මිනිස්සු පාර පනිනව.මල් විකුණන,තෙල් හඳුන්කූරු විකුණන, කීයක් හරි හොයාගෙන බඩවියත රැකගන්න මහන්සිවෙන මිනිස්සු මහ වැස්සෙ අරියාදුව මායිම් නොකර පුංචි කුඩ අස්සට වෙලා ගිරිය පුප්පගෙන කෑමොර දෙනව.හරියට වෙසක් පෝයට කැලණි පංසල් ගියා වගේ.සැදහැති නෝනල යාන්තමට පහත් කරපු වාහන වල දොර කවුලුවලින් පිං ඇති දෑත් දිගුකරගෙන මල් මිලදී ගන්නව.

"එන්න... වාසනාව... ගන්න... රුපියල් ලක්ෂ හැටයි...ශනිදා වාසනාව...අද රාත්‍රී දිනුම් අදිනවා...."

සුයිප් විකුණන මල්ලිගෙ තනි කටේ ලවුස්පීකරේ, අසපුවේ පිරිත් සද්දෙ යටකරගෙන ඇහෙනව. වැස්සෙන් බේරෙන්න ශොපින් බෑග් වලින් ඔලුව වහගත්තු දෙතුන් දෙනෙක් ටිකට් කූඩුවේ පුංචි වැහි ආවරනෙ යටට වෙලා වාසනාව හූරණව.හිස් ටින්,බෝතල්, කුණු අස්සෙන් බුබුලු දාදා වේගෙට ඇදෙන වතුර පිරුණ මඩ කානුවට උඩින් නවත්තල තියන කෑම කරත්ත දෙක තුනකින් කිරි සුදට දුම් පිටවෙනව.වැහි බේරුමට ඒව වටේට විසිරිලා.හරියට වලාකුළු පාත්වෙලා වගේ

"වඩේ... වඩේ.. උණු උණු ඒව... ඉස්සො වඩේ."

පිංවත් සිවාමීන්වහන්සෙගෙ සුමධුර ධර්මදෙශනාව අහවර කරපු, අසපුවෙන් නික්මෙච්ච මිනිස්සු වඩේ කරත්තෙ වටකරගෙන උණු උණු ඉස්සො වඩේ ගන්න පොරකනව.බොහොම අමාරුවෙන් මේ කලබගෑනිය මගඇරල අපේ වාහනේ ඉස්සරහට ඇදුන. මීටර් සීයක් විතර ඉස්සහින් පාරට දකුණු පැත්තෙන් පිට්ටුගල පන්සල,නුවර පාරට මූන දාල තියෙන පංසලේ ගරා වැටුන ප්‍රධාන පඩිපෙල හරස් කරල හිටවපු සරුවට වැවිච්ච ඇල්බීසිය ඳඩු දෙක තුනක් වැහෙන්න ඉටි කොලයක් ඇදල.පඬු පාට රෙදිවලින් වටකරපු කොන්ක්‍රීට් මුරගල් වැස්සට තෙන බරිත වෙලා.වැස්සත් පීරගෙන ඉදිරියට ඇදෙන වාහනේ රේඩියෝවෙන් ඇහෙන සිංදුවට කන්දීගෙන මම කල්පනාවකට වැටුන.  

"මහමෙවුනාවට සිල් වැහි වැහිනව හැම මාසයකම පොහෝ දිනේ
ගමේ විහාරෙට වැහි බිඳුවක් නෑ වෙනසක් යි බුදු පියානනේ"

May 12, 2016

රාජ්- අවසාන කොටස


"ඔය බඩේ රිදිල්ල එච්චර හොඳ එකක් නෙමේ, දොස්තර කෙනෙකුට පෙන්නුවොත් නරකද?"
පිටර්,රාජ්ගෙ සගය, හැම වෙලාවෙම සිය උදර මිරිකගෙන වේදනාවෙන් ඇඹරෙන  රාජ් දිහා බලාගෙන කියපු කතාව.


රාජ්ට යන්නතමට සිහිය එනකොට හැමදෙයක්ම බොඳ වෙච්ච චායාවක් වගේ මතක්වෙන්න ගත්ත.ඔහුට ඇතිවෙච්ච උදරයේ වේදනාවත් එක්ක සිහිනැතිවෙලා බිම ඇවැටුනු හැටි.ඔහුව ගිලන් රථයක දාමාගෙන රෝහලට අරගෙන ආපු හැටි.මේ සියල්ලම ටිකෙන් ටික ඔහුගෙ මතකයට ගලාගෙන ආව.


"රාජ් ඔයාට ඔපරේශන් එකක් කරන්න උනා.ජීවිතේ ලොකු අවධානමක තිබුනෙ. රිපෝට්ස් ආවම අපි බලමු මොකද වෙන්නෙ කියල."


ඒ වාට්ටුව භාරව රාජකාරිය කරපු ප්‍රධාන වෛද්‍ය තුමා දවස් දෙක තුනකට පස්සෙ සම්පූර්ණයෙන් සිහිය ලැබිච්ච රාජ්ව අමතල කියපු කතාව.


සති කිහිපයකට පස්සෙ රෝහලෙන් නිදහස් වෙච්ච රාජ් ආපහු සිය නිවසට ආව. ඒ එන කොටත් පාසැලේ ගුරුවරු සහ ශිෂ්‍යයො  බොහෝ දෙනෙක් ඔහුගෙ නිවසට ඇවිත් හිටිය. හිස් අතින් ම නෙමේ. තෑගි බෝග, කෑම වර්ග නිවස පිරෙන්න.මෙතක් කාලයක් කාටවත් නොකියා ආරක්ශා කරපු දෙයක් එදා මුළු පාසැලම දැනගත්ත. ඒ රාජ්ගෙ පුංචි දුවගෙ රෝගීභාවය.

"මේ මනුස්සය මෙච්චර දෙයක් තියාගෙන අපිට නිකමට වත් කිවුවෙ නෑ.එයාටත් කැන්සර් එකක් කියල දැනගත්තම කොහොම දාරාගනීද කියන එක හිතාගන්න බෑ."
ඒ පාසැලේ බොහෝ ගුරුවරු කතා වෙච්ච දෙයක්.
  
                    ...........................................................................................
නත්තල් නිවාඩුව ඉවර වෙලා ආපහු පුරුදු විදියට රැකියාවට ගියත් වෙනට දකින රාජ්ගෙ මුහුණ ඒදා දකින්න ලැබුනෙ නෑ.දින දෙක තුනක්ට පස්සෙ කෙටි පණිවිඩයකින් මම ඔහුව මතුව.


“රාජ්.
සුභ අලුත් අවුරුද්දක් වේවා! මොකද වැඩට එන්නේ නැත්තෙ? හැමදේම හොඳින් ඇති කියල හිතනව.
දිනේෂ්.”


වැඩි වෙලාවක් යන්න කලියෙන්ම දැනගන්න ලැබිච්ච නරක ආරංචිය නිසා,මගේ පණිවිඩයට පිළිතුරු නොලැබීමට හේතු හොයන්න  මට තිබ්බ වුවමනාව නැතිවෙලා ගියා.
රජ්ගේ කුඩා දියනිය තාලියා!  එයා රාජ්වයි, එයාගෙ අම්මවයි දාල මේ ලෝකෙන් යන්න ගිහින්. සදහටම.

මුලු පාසැලටම මේක දරාගන්න බැරි ප්‍රවෘත්තියක් වුනා.රාජ්ගෙ කුඩා දියනිය වෙනුවෙන් කණගාටුව පළකරල  ලියවිච්ච කාඩ් පත් වලින් ඔහුගෙ කාර්යාලය පිරෙන්න ගත්ත.පාසැලේ විදුහල්පති තුමා මුළු ඉස්කෝලෙම ගුරුවරු එක්ක තාලියාට අවසන් ගෞරව දක්වන්න එකතු උනා. එදා හැමෝම ශෝක වෙච්ච දවසක්.සුසානභූම්යේ සිය දියනිය නියමවෙච්ච පුංචි ඉඩ දිහා බලාගෙන, ජීවිතේ පිළිඹඳ බොහොම අවිනිශ්චිත බැල්මකින් ඇස්දෙක පුරෝගෙන රාජ් තාලියාට සමුදුන්න.

මේක ඇත්ත කතාවක්! නම් ගම් ඇරෙන්න.

May 2, 2016

බක් මහේ බක්ස් පාටිය

ඉස්සර බක් මහට එන අලුත් අවුරුදු ගැම්ම දැන් දියාරු වී ගොසිනි.කැවුම් සුවඳ නැත.කොහා පැත්ත පලාතකවත් නැත. එල්ලේ පාරක් ගැසීමට කුඹුරු වැඩ අහවර වූ, අඩක් කැපූ, වියලී ගිය ගොයම් ගස් පිරි වෙල් යායක් හොයා ගැනීම ඉතා අසීරුය.දැන් හැදෙන වුන් අලුත් අවුරුද්ද සත පහකට ගනන් ගන්නේ නැත .
අපේ කාලයේ ඇඟටම පදම් වූ අලුත් අවුරුද්ද, කාලයත් සමග යකාට ගොස් ඇතැයි විටෙක සිතේ.වෙසක්, පොසොන්,සරුංගල්, ජිල් බෝල,දියකඩිති,කිරල බට තුවක්කු එකී මේකි නොකී සියළු දෑ, තාක්ෂණයට ස්තූති වන්නට නැතිවී ගොසිනි.ඇත්තේ පම්පෝරි ගැසීමට ඉතුරු වූ සුන්දර අතීතයක් පමණි.


යන්නේ කොහේද? මල්ලේ පොල් වැනි මාතෘකාවක් හා ආරම්භයක් ඇතත්, කතාව අවසානයේදී මේ දෙක සමපාත වනු ඇතැයි සිතමි.
කතාව මෙසේය...


මාගේ සහෘදයෙකුට ඉතාම ආසන්න දවසක මහ උලු ගෙදර යාමට නියම වී ඇත. මොකක් නමුත් හේතුවකට සෙට් වෙන්නට බලා සිටින අපේ කණ්ඩායමට මෙය අමෘතය බඳු විය.


අඩෝව්.. මේව මෙහෙම යන්න දෙන්න බෑ. මොනව හරි ලොකුවට කරන්න වෙනව. කසාදයක් කියන්නෙ සෙල්ලං දෙයක් නෙමේ


සංවිධායක වරු වැඩේට බැස්සෝය.ඉන්නට නවාතැනක්, කළබලකාරී නගරයට බොහේ ඈතින් පාලු ප්‍රදේශයකින් සොයාගනු ලැබින. කෑමට බීමට සහ වෙනත් දෑ වලට ගනන් හිලවු සාදා අවසාන විය.


හැමෝම සරං අරගෙන වරෙව්! එදාට අවුරුදු සෙල්ලම් තියනව


ඉපදී මාස කිහිපයකින් සිය රට දාමා ආ, සුද්දන්ගේ රටේ උන්ගේ  පාසැලට ගොස්,කඩ්ඩෙන් ඉගෙන ගත් එකක් එසේ කීවේය.ගමනට එකතුවූ මුළු ගණන තිහකට ආසන්න විය.


කොල්ලොම තිහක් විතර! මරුවට තියෙයි”. එකෙකු කීවේය.


බොහෝ නිස්කලංක පරිසරයක, බලු බල්ලෙක් නැති පාලු ගොවිපොලක පිහිටා තිබූ නවාතැන, රැ එලිවෙන තුරු ගිරිය පුප්පාගෙන කෑ මොරදෙන අපේ වුන්ට දිවි විමනක් බඳු විය.බොහෝ විට බෝතලයක් කඩා ආරම්භවන සාදය, කිලෝ පහක බාස්මතී හාලේ කිරිබත්,ලුණුමිරිස්,කැවුම් හා කොකිස්, කෙසෙල් වැනි අවුරුදු කෑම වලින් පිරී තිබුනි.


"හැමෝම ඇඳපියවු ගෙනාපු සරං. මේක සිංහල අවුරුද්ද! "යොජනාව කළ එකා ගුගුළේය.

වීදුරු ගැටෙන හඬට චියර්ස් හඬ මුසුවෙනවා වෙනුවට හැමෝම එක එකා බදා අලුත් අවුරුද්දර සුභ පැතුවෝය. හිර ගෙදරට යන එකාගේ අතින් දැල්වූ ඉටිපන්දම් ආලෝකයෙන් කෑම මේසය විවෘත්ත විය.වසර තුනකට පෙර සිය රට ගිය කාලයේ, අපේ ගෙදර අවුරුදු කෑම මේසයට පසු මෙහෙම සරුවට කෑම මේසයක් දැක්කේ එදාය.



ඉස්මුරුත්තාව එන තරමට කිරිබත් ගිල දමා ටික වේලාවකට පසු අලුත් අවුරුදු තරඟ ආරම්භ විය.එකෙක් මේසයක් මත පින්තාරු කරගෙන ආ අලි රුව බීර පීප්ප දෙකක් මත තැබීය.හැඳි සහ බිත්තර තවෙකෙක් ගෙනාවේය.


දෙහි නෑ බං! බිත්තර තියනව.බින්ද එකාට හෙට උදේට බිත්තරේ නෑ.”


දරු මල්ලෝ හදන වයසේ වුන්,පොඩි වුන් මෙන් අවුරුදු සැමරූහ. අලියාට ඇස තැබුවෝය.හැන්ද මත බිත්තර තාබාගෙන ගියෝය. ඇඳසිටි සරං උනා මීටර් සීය දිවීය.තරගාවලිය අවසනයේ කුඩා තෑගි ප්‍රධානෝත්සවයක්ද තැබුවෝය.


මේ සියල්ල අවසාන වනවිට බොහේ රෑබෝවී තිබින.ඉන්පසු ගිටාර් කටු, ඩ්‍රම් කටු ගෙන, රෑ එලිවෙනතුරු ගී ඟඟුලක කිමිදුනෝය.කාමර හත අටකට වඩා තිබූ නවාතැනේ බොහේ ඇදන් හිස්ව තුබුනි. මා ඇරෙන්නට තව එකෙකු නිදා ගත්තාදැයි නොදනිමි.

හෙලුවැලි ගෑනු නටන බක්ස් පාටි, හැඩි දැඩි අයෝමය මිනිසුන් ශිෂ්ණ වනන හෙන්ස් පාටි සංස්කෘතිය සිංහල රටේ හරි හරියට සිදුවෙන විට, මගේ සහෘදයින් අලුත් අවුරුද්ද අමතක නොකර හැසිරුන ආකාරය ගැන මට බොහේ ආඩම්බර විය හැක.සංස්කෘතිය බල්ලාට ගෙස් සුද්දාගේ අහවල් එක වැළඳගන්නා රටක, සිය සංස්කෘතිය රැකගැනීමට පිට රටක ඉපදුනු උන්ට ඇති කැක්කුම ගැන ආඩම්බර විය හැක.



Related Posts Plugin for WordPress, Blogger...