Mar 11, 2013

වෙරෝනිකා...

හිස් ගෙඩිය පිපිරෙන තරමට ගිනියම් රස්නෙ.ඒ මදිවට මේ කාලකණ්නි නිසාචර රස්සාව.උඹට මේව තේරුනේ නෑ...සත්මහල් ප්‍රාසාදයක් අස්සෙ හුරතලේට හැදිච්ච උඹට, මම විඳින දුක කියල, උඹේ ඔය හීන ලෝකෙ කුඩුපට්ටම කරන්න මට උවමනාවක් තිබුනෙ නෑ...ඒත් වෙරෝනිකා මම උඹට ආදරේ කළා නොසෑහෙන්න.මේ බිත්ති හතරට කතා කරන්න පුළුවන්නම් උන් කියයි.නිදි මර මර මම විඳින කරුමක්කාර ජීවිතේ ගැන.අනිත් උන් වගේම මටත් උඹට හොරා එක එක ගුබ්බෑයම් අස්සෙ රිංගල මොහොතක් පොඩි සැනසීමක් හොයන්න තිබුන.ඒත්,උඹේ ඔය අහිංසක ඇස් ගෙඩි දෙක දිහා බලාගෙන මට එහම කරන්න තරම් හයියක් තිබුනෙ නෑ...සමහර විට ඒ මගෙ මෝඩ කම වෙන්න ඇති.නැත්නම් මම උඹට කරපු ආදරේ වැඩි වෙන්න ඇති.වෙරෝනිකා උඹ දන්නෙ නෑ...උඹව දාල මම එන දවසෙ අඬපු කඳුළු කන්දරාව.නෑ වෙරෝනිකා උඹට ඒක තේරෙන්නෙ කොහොමද? ...එහෙම උනනානම් අද මමවත් උඹවත් මේ විදියට තනිවෙන්නෙ නෑ...
ආදරණීය වෙරෝනිකා...කැඩිච්ච බිඳිච්ච දේවල් ආපහු ඒ විදියටම හදන්න බෑ.අද මම උඹට යන්න දෙනව.සදහටම.මගේ මේ නිසාචර ජීවිතෙන්.මට දුක හිතෙයි ගොඩක්.ඒත්,ඒක උඹට තේරෙන එකක් නෑ...මේ රෑ තිස්සෙම මා එක්ක එක සීරුවට ඉකි ගහන මගෙ ගිටාර් කට්ට තරම්වත් උඹ මට ලෙංගතු නොව්ච්ච නිසා.උඹට ඒ දුක දැනෙනෙ එකක් නෑ...එහෙම දැනුන නම්,උඹ කවදාවත් මම දුක් විඳින අස්සෙ වෙන එක්කෙ එක්ක රවුම් ගහන්නෙ නෑ.මම උඹට සමාව දුන්න.හදවතින් ම .ඒත් ඒක පිළිගන්න තරම්වත් උඹට උවමනාවක් තිබුනෙ නෑ...
ජීවිතේ සොච්චමට වැටිච්ච මට හිටියෙ උඹ විතරයි.ඒත් අන්තිමට උඹත් මාව දාල ගියා වෙරෝනිකා.කවදා හරි දවසක අපි ආපහු මුනගැහෙයි.එදාටත් එක මොහොතකට උඹෙ ඔය හිනාව බලන්න මම ආසයි.


මට අයිති නැති හීන ...හැමදාම හැම රෑම...
රෑ තාරුකා සේම දිලුනා...
සුදු පාට ඒ හීන... රෑ තාරුකා සේම...
නොදැනීම උදයේම මැකුනා....

වෙරෝනිකා උඹට සුභ ගමන්...


not a personal experience...