Apr 26, 2016

රාජ්

රාජ්! ඒ හැමකෙනෙක් ම ඔහුව ආමන්ත්‍රණය කරපු නම.රාජ් කුමරස්වාමි මට මුන ගැහිල අද වෙනකොට වසරක් ගතවෙලා.උප්පතියෙන් දකුණු ඉන්දීය ජාතිකයෙක් වුන රාජ්, වැඩි උස මහත නැති, ප්‍රියමනාප පෙනුමක් හෙබි, බොහොම කාරුණික ගති ඇති ආසියාතිකයෙක්.මට හිතෙන හැටියට ඔහුත්, ඔහුගෙ බිරිඳ ගීතාත්, ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා අද වෙනකොට බොහෝ කාලයක් ගතවෙලා ඇති.


රාජ් රැකියාව කරන පාසැලේ බොහෝවිට ඉගෙන ගත්තෙ තරමක් ඉහල පැලැන්තියේ ධනවත් පවුල් වල ළමයි.ඔවුන් බොහොමයක් ස්වබාවයෙන්ම හිතුවක්කාරයි. නමුත් අපේ කතා නායකය මේ මුරණ්ඩු ළමුන්ට සැලකුවෙ බොහොම කාරුණික විදියට.හරියටම කියනව නම්, තමන්ටත් මේවගේම ළමා කාලයක් තිබුන නේද කියන සිතිවිල්ල හිතේ තියාගෙන වගේ.දිවා ආහාර වේලාවට පවා රාජ්ගෙ ඔෆිස් කාමරේ ඉදිරියේ තියන කොරිඩෝව දිගේ එක සීරුවට දුවන මේ පොඩි උන්ගේ ගෝරනාඩුවට වත් සැරෙන් සැරේට ඔෆිස් කාමරේ දොරට තඩිබාල අහන අහිංසක ප්‍රශ්ණ වලටවත් කිසිම අමනාපයක් නැතිව ප්‍රතිචාර දක්වන්න තරම් ඔහු කාරුණික වුනා.


                                   .................................................................... 


                                       යාන්තමට දිස්වෙන ලා නිල්පාට දර්ශණ බොහොම වේගයෙන් වෙනස් වෙනව.හිසට උඩින් අයෝමය විදියට සුදුපාට ආලෝකයක් දහවල් හිරුගේ ගිහි පුපුරු වලට වඩා චණඩව රාජ්ගෙ මුහුනට පතිත වෙමින් තිබුන.යකඩ උපකරන ගැටෙන හඬ, නොනවත්වා ඇසෙන බීප් නාදය ඔහුගේ මනසට අරගෙන ආවෙ ලොකු ප්‍රශ්ණාර්ථයක්. නමුත් තමන්ගේ වටපිටාවෙ මේ සිද්ධවෙන වෙනස්වීම් අනුමාන කරගන්න තරම් කල්පනාවක් රාජ්ට තිබුනෙ නෑ.

                                   .................................................................... 


තාලියා! ඒ රාජ්ගේත් ගීතාගේත් එකම ව
ස්තුව. රාජ්ගෙ පුංචි දෝණි.එයා මේ ලෝකෙ එළිය බලන වෙලාවෙ, රාජ්ට අරගෙන ආපු සතුට අතරට ලොකු දුකකුත් එකතු වෙලා තිබුන. තාලියාට දරුණු රෝගයක් වැලඳිලා.අලුත ඉපදෙන අනිත් කිරි කැටියො වගේ ඇය ඇඬුවෙ නෑ. පුංචි අත පය සෙලෙව්වෙ නෑ.ඇය හිටපු වාට්ටුවේ දොස්තර වරු කිවුවෙ ඇයව වැඩිකාලයක් ජීවත් කරන්න බැරිවෙයි කියල.ඇයට දරුණු ස්නායු රෝගයක්.රාජ්ගෙ මුලු ජීවිතේම කඩා වැටෙන්න ගත්ත.


පුංචි තාලියාට වසර තුනක් පිරෙන උපන්දිනේට රෝහලේ සියලුම දනා එකතුවෙලා.රෝහල් කාමරය පාවෙන පාට පාට බැලුම් වලින් පිරිල. රාජ් එයාගෙ බිරිඳත්, මේ චුටි කෙල්ල දිහා බලාගෙන හිනාවෙනව.බොහොම විඩා පත් වෙච්ච පුංචි ඇස් දෙකෙන් තමන්ගෙ දෙමව්පියො දෙන්න දිහා බලාගෙන ඇයත් යන්තමට හිනා වෙනව. ඒ ඇගේ පාලනයෙ තිබු එකම අවයවය. ඉතින් ඇය හැම දේටම හිනා වුනා. රාජ් සිය දියණියව වසර තුනක් ජීවත් කරවල.ජීවත් කරවන්න බෑ කියපු තාලියා ඇගේ වසර තුනේ උපන් දිනය බොහොම ඉහලින් සැමරුව.


ඉතිරිය ලබන සතියට...

Apr 20, 2016

රේස් පොලේ කේක් කඩේ

මගේ කුස්සි රස්සාව දමල ගහල ආවට පස්සෙ කුස්සියක් පැත්ත පලාතක පස් පාගන්න බැරි උනා. කාලයක් ගියාට පස්සෙ එපාවෙලා තිබ්බ ආසාව ආපහු මතුවෙන්න ගත්ත. අද කියන්න යන කතාව කුස්සියකට සමපාත නොවුනට පොඩ්ඩක් විතර කෑමට සම්බන්ධයි.
“මේ..! Cake expo එකක් තියනව.අනේ මට කොහොම හරි යන්න ඕනෙ
අපේ හාමිනේ ගෙන් හෙන කරදරේ. මමත් ඉතින් බෑ කියන්න බැරි කමටයි(චාරටේ කන්න වෙන බව දන්න නිසා) බේකින් වලට තිබ්බ පොඩි ආසව නිසායි වැඩේට හා කිවුව.
සති ගානකට කලින් ටිකට් එහෙම අරගෙන, ගජරාමෙට අපේ එක්කෙනා ලැස්ති වෙනව කේක් වැඩ කිඩ බලන්න යන්න.මමත් ඉතින් ඇටි කෙහෙල් කාපු රිලව වගේ, වෙන දේ බලාගෙන ඉන්නව.ඔහොම ගිහිල්ල, ගිහිල්ල ඉතින් යන දවස ආව.කේක් පොලේ තිබ්බෙ මෙල්බන්වල ගොඩක් ප්රසිද්ධ, Melbourne Cup අස්ස රේස් එක දුවන Flemington Racecourse එක ගාව තියන showgrounds වල.
 “මේ අපි උදෙන්ම යමු අනේ.සෙනග පිරිල ඇති.”
 “කීයටද?”
 “පැයක් විතර යනවනෙ යන්න .අපි ගෙදරින් අටට වත් යමු..”
 නිවාඩු දවසට පස්සට ඉර පායන කම් බුදියගන්න මගෙ නින්දටත් ඉතින් කෙල වුනේ එහමයි.
මමත් ඉතින් උදේ පාන්දරින්ම ඇහැරිලා මහා කේක් ප්රදර්ශනේ බලන්න යන්න ලැස්ති උනා.
 “මට මේක ගිය පාරත් මිස් උනා අනේ.ඔයා යන්න හා කියපු එක හරි ශොක්.”
“හ්ම්ම්ම්ම්.....”
දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන, කඩේ කින් කෝපි එකක් එහෙම ගහගෙන අපිදෙන්න යන්න පිටත් උනා. පැයක් විතර වාහනේ එහෙට මෙහේට පැදල, අපි අපේ ගමනාන්තයට ලඟා වුනා.
වාහනේ පාක් එකට දාන කොටම ගේට්ටුව ගාව හිටගෙන හිටපු ඔසිය කියනව
“10 ඩොලස් ෆොර් පාකින් මේට්! ”
ඒකත් ගෙවාගෙන,වාහනෙත් පාක් කරල, ගියා ඇතුලට.දොර ලඟ හිටගෙන හිටපු, අයිසිං කේක් එකක් වගේ ලස්සන ගැල්ලමෙක් මගේ අත අල්ල, ගැහුව සීල් එකක්.
"Paid"
………………………………………………………………………………………………………………………………………………….
“මේ මොකක්ද මේ..”
“ඇයි?”
“මෙච්චරද?”
 යාන්තම් කාර් තුන හතරක් පාක් කරන්න පුලුවන් තරමෙ පොඩි හෝල් එකක,පොඩි පොඩි කඩ කැලි දහයක් පහලවක් තියනව. ඒවයෙනුත් වැඩි හරියක් කරන්නෙ කේක් හදන්න උවමනා වෙන ගැජමැටික් විකුනන එක.
වෙසක් එකට කැරකෙන කූඩුවක් බලනව වගේ වට හතරක් පහක් ගිහින් අපේ එක්කෙනා කියනව.
 “අපරදෙ සල්ලි. අපි යං අනේ යන්න! “
 එයාගෙ කේක් සිහිනය බොඳ වුනේ ඔන්න ඔහොමයි!

Apr 8, 2016

රත්න ශ්‍රී දුටුවෙමි..

හු ගැන ලිපි ලිවීමට, උසස් පෙළට ගණිතය හදෑරූ මට දැනුම නැතිවුවත්, දැන හෝ නොදැන ඔහුගේ පන්හිඳට ඇලුම් කළ බව නම් සත්තය.මේ කියන්න යන කතාව රත්න ශ්‍රී විජේසිංහ ගැන නොව ඔහුගේ නිහතමානී කම හා අද හැදෙන වුන් මේ සොඳුරු කවි කාරයා ගැන අංශු මාත්රයක් නොදැන සිටීම බිළිඹඳවයි.


මා මීට සතියකට උඩ්දී මෙල්බන් නුවර සංවිදානය කර තිබූ ගී ප්‍රසංගයකට සහභාගී වුනෙමි. සොඳුරු සෙවනැලි නම් වූ එය, රත්න ශ්රී විජේසිංහ ,බන්ඩාර අතාවුද සහ නදීක ගුරුගේ යන තුන් කට්ටුව එකට හිඳ පැවැත්වූවකි.


ප්‍රේක්ශකයෝ "වේදිකාවේ අසුනකට බරවී.." ගීතයට තාලයට අත්පොඩි ගැසුවෝය.නදීක හිනා වුනි.වේදිකාවෙන් ද එම හිනාවට අත්වැල්  සැපයුනි. නමුත් ඒ හිනාවන් අවංකව නැගුනු ඒවා නොවන්නට  ඇත. මක් නිසාදයත්, ගීතයේ අරුත බොහෝ දෙනා නොදැන සිටි නිසාවෙනි.

" මේක මම යලුවෙක් ගෙ වෙඩ්න් එකකට කරපු සිංදුවක්. වෙලාවට මේක වෙඩින් එකට ආපු අයටයි, මනමාලයටයි දෙන්නටම තේරුනේ නෑ, තේරුනා නම් එදාම මගෙ සංගීත ජීවිතේ ඉවරයි !"

නවක ගායකයා හා ගායිකාව මහා ගාන්ධර්වයෙක් ලෙස නදීක අස්වසද්දී, ගායකයාට ඒදඩු  තැනූ පදරචකයා බොහෝ නිහතමානීව බලා සිටියේය. ඉඳ හිට සිය හඩ අවදි කරමින් පදවැල් වලට අරුත් සැපයුවේය.

නදීක ගේ හඩට, බන්ඩාර අතාවුද ගේ හඩට ඇති ඉල්ලුම රත්න ශ්‍රී විජේසිංහ ගේ කවි පෙලහරට එම වේදිකාවෙ නොතිබීම ගැන මා දුක් වුනෙමි. ඒ, මේ පිරිස ගීතය ඇදිනුවත් ගීත රචකයා ගැන ති අල්ප දැනුම නිසා වෙන්නට පුලුවන.


 දහසක් හිස් අතර එක හිසක් හෝ රත්න ශ්‍රී ගේ කවියට ඇලුම් කිරීම ගැන මම මටම අස්වසා, ගෙදර විත් එක  හුස්මට ඔහුගේ කවි පොත් කියවා අහවර කලෙමි.





Related Posts Plugin for WordPress, Blogger...