Feb 26, 2013

වන අරමක සත් දවසක් (3)

දවල් දානෙන් පස්සෙ පොත් ගුලට වෙලා හවස් වෙනකම් එක එක ජාතියේ බෞද්ධ පොත් කියවන එක මට පුරුද්දට ගියා.බොහෝ පොත්, තායි හාමුදුරුවරු අතින් ලියවෙච්ච ඒව. කාගෙන්වත් කරදරයක් නොතිබුන නිසා, බොහොම නිවී සැනසිල්ලෙ පොතක් කියවගන්න එතන කියාපු තැන.පොත් ගුලේ පැත්තක බිත්තියේ  තිබුන ලොකු වීදුරුවෙන්, මීදුමෙන් වැහිල යන ඈත කඳු පන්තිය හොඳට බලාගන්න පුලුවන්.ඒ දර්ශණයත් එක්ක හිතට ඇතිවෙන හෑගීම වචන වලට පෙරලන්න ගොඩක් අමාරුයි.


හවස පහමාර විතර කියන්නෙ හාමුදුරුවරු තේ බොන වෙලාව.කියව කියව ඉන්න පොතත් පැත්තකින් තියල, මමත් සාමනේර උන්නාසෙත් යනව දාන ශාලාව පැත්තට.උන්නාන්සෙලට වතුර රත් කරන්නයි අනිත් කලමන ලැස්ති කරන්යි.තේ බොන වෙලාවට හැමෝම එකතුවෙලා කතා බහ කරනව.බොහෝ වෙලාවට ලොකු හාමුදුරුවො දුරකතනෙට උත්තර දෙන්න ඒ වෙලාවට.මමත්, මට තිබුන ප්‍රශ්න එහෙම ගොඩක් ඒ වෙලාවට අහනව.උන්නාන්සෙ හරිම උපේක්ෂාවෙන් ඒවට උත්තර දෙනව.


හවසට තේ බීල ඉවර වුනාම කෙලින්ම යන්නෙ කන්ද මුදුනෙ තියන ධර්ම ශාලාවට.ඒ භාවනා කරන වෙලාව.ලොකු හාමුදුවුවොයි අනිත් හාමුදුරුවරු ඔක්කොමයි පැයක් විතර භාවනා කරනව.සමාධිය ගොඩක් දියුණු වෙච්ච අය අතර භාවනා කරන කොට හිත ඉක්මනට එකඟ වෙනව කියල මම කතාවක් අහල තිබුන.ඒක මට ඒ සතිය ඇතුලත ඔප්පු උනා.

භාවනාවෙන් පස්සෙ හැමෝම පංසිල් ගනන්ව.ඊට පස්සෙ පිරිත් කියනව.හාමුදුරුවරු ඇරෙන්න මුළු ධර්ම ශාලාවටම මම විතරයි.හරිම අමුතු හැඟීමක්.මෙ හැම දේම ඉවර වෙනකොට රෑ අටත් පහු වෙලා.ලස්සනට හඳ පායල.වටෙටම තියන කඳුවලට හඳ එළිය වැටිල.හාමුදුරු වරු ඔක්කොම එක පේලියට හඳ එළිය යටින් පහල ට වඩිනව.වප් මාසෙ පෝය දවසෙ විතරක් හාමුදුරුවරු හැමෝම ධර්ම ශාලාවෙ නතර වුනා.ඊට පස්සෙ දවසෙ තමයි මම ලොකු හාමුදුරුවන්ගෙන් දැනගත්තෙ උන්නාන්සෙල පෝය දවසට එළිය වැටෙන කම් භාවනානුයෝගීව ඉන්නව කියල.


දවස් හතක් ගෙවිල ගියා.බොහොම සාමකාමී විදියට.මේ වගේ සිල්වත් උත්තමයො එක්ක ටික දවසක් ඉන්න ලැබුනු එක ලොකුම ලොකු වාසනාවක්.ඒ මෙච්චර කාලෙකට මගෙ ජීවිතේ ගතකරපු හොඳම දවස් හත.

දැන ගතයුතු බොහෝ දෑ දැනගත්ත.විඳ ගතයුතු බොහෝ දෑ විඳ ගත්ත. ජීවිතය,මරණය,දුක,සතුට,කඳුළු,බැදීම,වෛරය,ආදරය,විරහව,මේ හැම දෙයක් දිහාම බොහොම උපේක්ෂවෙන් බලන්න ඉගෙන ගත්ත.ඒත් මට අත්දකින්න ලැබුන සමහර දේවල් ලිපියට එකතු කළේ නෑ.ඒ මොකද ඒව බෞද්ධ නීති වලට පටහැනි නිසා.

අන්තිම දවසෙ ලොකු හාමුදුරුවන්ට වැදල පිටත් වෙනකොට මම ජීවිතේට බොහෝ දේවල් එකතු කරගෙන හමාරයි.ලොකු හාමුදුරුවො කරපු එක ඉල්ලීමකට ඇරෙන්න අනිත් හැම ඉල්ලීමක්ම මම බොහොම කැමැත්තෙන් ඉටු කළා.

මේ ලිපිය නොලිය ඉන්න අදහස් කරගෙන හිටියත්, මේකෙන් කාටම හරි හොඳක් වෙයි කියන හැඟීම එක්ක අන්තිමට තීරණය කළා  ලිපිය ලියන්න.මට ගොඩක් උදවු කරපු ශේන් මහත්තයව මේ වෙලාවෙ මතක් කරන්න ඔනෙ.එයා මේ වෙනකොට ගිහි ජීවිතේට සමු දීල ඉවරයි.අනිත් කෙනා මට ඇනෝනිමස් ක්මෙන්ට් වලින් උදවු කරපු කෙනා.ඔයාටත් බොහොම පින්.

හතරවෙනියට ඉන්නෙ ශේන් මහත්තය
(පිතූරෙ ගත්තෙ විනොද් මලයගෙ FB එකෙන්)

ගෙදර ඇවිත සතියකට පස්සෙ අම්මට කෝල් එකක් දුන්නම එයා කියනව..

"උඹ මට ආදරයක් තියනව නම් ආපහු ඔය වගේ ගමන් එහෙම යනව නෙමේ".

ඉතින් ලොකු හාමුදුරුවන්ගෙ අන්තිම ඉල්ලිම ඉෂ්ඨ කරන්නෙ කොහොමද?

ඒ හුදකලාව,හීතල,හඳ එලිය,මීදුමෙන් වැහිච්ච කඳු පන්තිය,පොත් ගුල,සිල් සුවද,පුංචු කුටිය, මට තාමයි මතක් වෙනකොට දැනෙන්නෙ බොහොම අමුතු හැඟීමක්.ඒ හැඟීමට මම තාමත් තදින් ම බැඳිල.

Feb 15, 2013

වන අරමක සත් දවසක් (2)


ඉර නගින්නනත් කලියෙන්, හිමිදිරි පාන්දරම, ඈත කඳු පන්තියේ කැලෑ රොද අතරෙ, තැනින් තැන හැංගිලා තියන භාවනා කුටි වල ඉඳල, භාවනානුයෝගී හාමුදුරු වරු හැමෝම හීල් දානෙ වළඳන්න පහල තියන දාන ශාලාවට වඩිනව.ෆයින් ගස් පේලිය අස්සෙන්, කිරි සුදු පාටට වැහිල තියන මීදුම් වලාව අතරින්,කඳු පාමුලට වැටිල තියන පටු අඩි පාරවල් දිගේ ශාන්ත  ගමනින් වඩින මේ බුද්ධ පුත්‍රයන් දකින එක බොහොම කලාතුරකින් කෙනෙකුට ලැබෙන අවස්ථාවක් කියලයි මට ඒ වෙලාවෙ හිතුනෙ.

මමයි,ශේන් මහත්තයයි තවත් සාමනේර හාමුදුරු නමකුයි  එකතුවෙලා හීල් දානෙ ලෑස්ති කළා.ලොකු හාමුදුරුවන්ට වෙනමයි,අනිත් හාමුදුරුවන්ට වෙනමයි.මේ සාමනේර නම ගැනත් නොකියම බෑ.උන්නාන්සෙ හොඳ තරුණ වයසෙ හාදයෙක්.ගම ඇඩිලේඩ්.

"ඔබ වහන්සෙට මහන වෙන්න හිතුනෙ අයි?"

පොඩි කතාවකින් පස්සෙ මම උන්නාන්සෙගෙන් ඇහුව.

"මෙච්චර කල් ජීවිතේ කරපු කියපු කිසිම දෙයක් සම්පූර්ණයි කියල දැනුනෙ නෑ දිනේෂ්.බුදු දහම ගැන ලංකාවෙ හාමුදුරුනමක් ලියපු පොතක් කියෙවුව.මහන වෙන්න හිතුන.මෙහෙ ඇවිත් මහන වුනා."

බොහොම සරළ විදියට උන්නාන්සෙ මට උත්තර දුන්න.ඒ වචන වල තිබුන ගැඹුර ගැන මට අදටත් කල්පනා වෙනව.එච්චරම පහසු විදියට ජීවිතේ බැදීම අතෑරල දාන්න මනුස්සයෙකුට පුලුවන්ද? මට මතක් වුනේ අපේ බුදුහාමුදුරුවන්ව.



"දිනේෂ්ට තියනව පොඩි වැඩ ටිකක් කරන්න. කැමතිද?"

ලොකු හාමුදුරුවො හීල් දානෙන් පස්සෙ මාගාවට වැඩිය.

"එහෙයි අජාන්."

"එහෙනම් පොඩි නමගෙන් වැඩ කරන්න ඇඳුම් ඉල්ලගන්න.කන්දෙ තියන කුටි සුද්ද කරන්න යනන් උවමනායි."

"එහෙයි"

පොඩි හාමුදුරුවන්ගෙන් ඉල්ලගත්තු ඇදුම් ටික දඩි බිඩියට ඇඟට දාගත්ත මම, කන්දෙ තියන කුටි  වලට වඩින ලොකු හාමුදුරුවන්ට එකතු වුනා.කාලයක් තිස්සෙ මගෙ ඔලුවෙ තිබුන බොහොමයක් ප්‍රශ්ණ මම එකින් එක ලොකු හාමුදුරුවන්ගෙන් අහනන් ගත්ත.අජාන් චා හාමුදුරුවො ගැන.බූරිදත්ත මහරහතන් වහන්සෙ ගැන.මහ බූව හාමුදුරුවො ගැන,භාවනාව ගැන මට තිබුන ප්‍රශ්ණ එකින් එක මම විසඳගත්ත.


අජාන් මහ බූවා හිමිපාණන්
අජාන් මුන් හිමිපාණන්
අජාන් චාහ් හිමිපාණන්

 "දිනේෂ්.. මුල් දවස් වල භාවනාවට එක දිගට වාඩිවෙලා ඉන්න එක බොහොම අමාරු වැඩක්.ඒත් අඩුම තරමින් පැයක්වත් වාඩිවෙලා ඉන්න බැරි නම් හිත එකඟ වෙන්නෙ නෑ."

බර ඇදල කොන්ද බාගෙට ගිහින් තිබුන මට, පැයක් තියා එක විනාඩි පහක් වාඩිවෙල ඉන්න බැ.ඒත් ඒ ප්‍රශ්ණෙත් උන්නන්සෙ මට විසඳල දුන්න.


කන්ද මුදුනට යන එක ටිකක් දුෂ්කර ගමනක්.ඒත් හැමදාමත් මේ හාමුදුරුවරු කඳු මුදුනෙ එහා මෙහා වඩිනව. සතා සිවුපාව ගැනවත්, අනික් කරද ගැනවත් කිසිම හැල හොල්මනක් නැතුව.

ලී කනු උඩ හදල තිබුන භාවනා කුටි හරිම සරලයි. ඒ ගාවින්ම වහලයක් හෙවිල්ලල තියන පුන්චි සක්මන් මළුවක්. මේ දෙක ඇරෙන්න අනිත් හැම තැනම ඝණ කැලෑව.අනිත් හාමුදුරුවරුත්,මමත්,ශේන් මහත්තයත් එකතුවෙලා කුටි වටේ උදුළු ගාන්න,කොල රොඩු අයින් කරන්න වගේ, හදිස්සියේ ඇතිවෙන ලැව් ගිනි වලින් මේ කුටි බේරගන්න ඒ අවට සකස් කරන්න පටන්ගත්ත.

"දිනේෂ්...මොන වැඩේ කලත් එක දෙයක් මතක තියාගන්න. Mindfulness (සතිය).ඒක අමතක කරන්න එපා."

මට ලොකු හාමුදුරුවන්ගෙන් තවත් අවවාදයක්.


හැම හාමුදුරුනමක්ම කිසි කතා බහක් නැතුව තම තමන්ගෙ වැඩ.මට හිතුන විදියට නම් ඒ හාමුදුරුවරු හැම දෙනාම බොහොම සිහි කල්පනාවෙන් තමයි හැම වැඩක්ම කළේ.උන්නාන්සෙල බොහොම සිල්වත් උදවිය.හැම දෙනාම බොහොම තරුණ අය.ජීවිතේ හොඳම කාලෙ තමයි මහණ වෙලා තියෙන්න.



ඉර ටිකක් විතර මුදුන් වෙනකොට අපි හැමෝම වැඩ නවත්වල ආපහු පහලට බහින්න ගත්ත.හාමුදුරුවරුන්ගෙ දානෙ වෙලාව ලංවෙලා.මමත් ඇවිත ඇඟපත එහෙම හෝදගෙන දාන ශාලාව පැත්තට ගියා.දානෙට හාමුදුරුවරු වඩින කම් එතන ගොඩක් වැඩ,ඒ දේවල් වලට උදවු වෙන එක හිතට ලොකු සැනසීමක්.

"දිනෙෂ්,ඔයා ද අජාන්ගෙ පාත්තරේ අරගෙන යන්න."

ශේන් මහත්තය මට එහෙම කිවුව.

මම එක පයින් ඒකට කැමති වුනේ.මොකද ඒක බොහොම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් නිසා.මමත් ඉතින් ලොකු හාමුදුරුවන්ගෙ පාත්තරෙත් අරගෙන උන්නාන්සෙ පිටි පස්සෙන් හෙමින් හෙමින් හාමුදුරුවරු දානෙ වළඳන තැනට ගියා.


තායිලන්තෙ හැම බෞද්ධයෙක් ම හාමුදුරුවන්ට බොහොම ගරු සරු ඇතුව තමයි වැඩ කරන්නෙ.ඒ වගේම, ඒ අය හාමුදුරුවන්ට වඳින විදියත් බොහොම වෙනස්.හැබැයි මට හිතුන විදියට, එයාල තමයි හරියට හාමුදුරු කෙනෙකුට පසඟ පිහිටුවල වදින්නෙ.ඒ අතින් බලනකොට අපි නිකන් බොරුවට ඔලුව නවනව විතරයි.

දවල් දානෙ වෙලාවෙන් පස්සෙ.හාමුදුරුවරු ඔක්කොම බණ මඩුව පැත්තට වඩිනව සක්මන් භාවනා කරන්න.උන්නාන්සෙල එක මොහොතකට තමන් වහන්සෙලගෙ හිතට එහෙ මෙහෙ දුවන්න දෙන්නෙ නෑ.බොහොම පරිස්සමට ආරක්ෂා කරනව.

කෑම කාල ඉවරවුන  මමත් හෙමිහිට ගියා පංසලේ පොත්ගුල පැත්තට.එදා ඉඳල මම ගත කරපු දවස් හතේම දවල් කෑමෙන් පස්සෙ මම මුලු කාලෙ ගතකළේ පංසලේ පොත් ගුලේ. 




Feb 5, 2013

වන අරමක සත් දවසක්

මුළු සරුවාංගෙම හිරිගඩු පිපෙන තරමට සීතල.වටේටම පැතිරිලා තියෙන කඳු පන්තිය අතරින් යාන්තමට ගාලාගෙන එන උදෑසන ඉර එළියට ඇඟේ දැවටිලා යන තද සීතල මට්ටුකරන්න තරම් ශක්තියක් තිබුනෙ නෑ.මහ විශාලෙට වැවිල තිබුන පයින් ගස් දෙක අතරින් වැටිල තිබුන පුංචි අඩිපාර දිගේ ලොකු හාමුදුරුවො ශාන්ත ගමනින් කන්ද මුදුනට වඩිනව.අඩිපාර දිගටම වැඩිල තිබුන කුඩා පදුරු වල එක එක පාටට පුංචි පුංචි මල් පිපිල, ඒ සීත ඍතුවෙ අවසාන කාලෙට මේ පුංචි මල් පඳුරු දක්වපු ප්‍රතිචරය.ඝණ කොල පාට වන වැස්මටම ආවේනික වෙච්ච ගුප්ත නිහැඬියාව ඉර එළිය  පොළවට වැටෙන්නත් කලියෙන්ම කැලෑව දිගේ වඩින මේ බුද්ධ පුත්‍රයන්වහන්සෙ දිහා බලාගෙන සාදුකාර දෙන කුරුල්ලන්ගෙ කිචි බිචියත් එක්කම නැතිවෙලා ගියා.
සෙනසුරාද දවසට ඇරෙන්න සතියෙ අනිත් හැම දවසකම, ආරන්‍යයෙ ජීවත්වෙන වනවසී හාමුදුරුවරු, හීල් දානෙන් පස්සෙ, සීතලෙන් බේරෙන්න ඇදගත්තු ලොකු පඬු පාට කබායවල් වලින්,කැලැවෙ තෙතමනෙන් බේරෙන්න පැලඳගත්තු ලොකු බූට්ස් සපත්තු වලින් වගේම එදිනෙදා වැඩපලට උපකාර වෙන එක එක උපකරණවලින් සන්නද්ධ වෙලා කඳු මුදුනට වඩිනව.මේ ගමනට හේතුව වුනේ, සීත කාලෙන් පස්සෙ එන ග්‍රීෂ්ම ඍතුවට හටගන්න දරුණු කැලෑ ගිනි වලින්, කැලෑවෙ තැනින් තැන හුදකලාව පිහිටල තියන,තමන් වහන්සෙල භාවනාවෙන් කල් ගෙවන පුංචි කුටිවල ආරක්ශාවට, එ අවට ශුද්ධ පවිත්‍ර කරගන්න.

ලී කනු හතරක් උඩ කුඩාවට තනල තිබුන භාවනා කුටියක් අවට වැවිල තිබුන  පදුරුත්, ඒ අවට වැටිල තිබුන කොලරොඩුත් එකතු කරල පත්තුකරල තිබුන තරමක් ලොකු ගිනි මැලය සුදුපාට දුම් වළාවක් නගමින් පට පට ගගා ඇවිලෙනව.ඇවිලෙන අමු කොල රොඩු අස්සෙ තරමක් ලොකු මකුලුවෙන් ගිනි රස්නෙන් බේරෙන්න ලොකු වෑයමක.අතේ තිබුන කෝටු කෑල්ලෙන් මම ඌව කැලේ පැත්තට විසිකලා.


"දිනේෂ් මොකද ඒ කළේ? ඌ නිකම්ම නිකම් මකුලුවෙක් විතරයිනෙ."


මම කරපු දේ දිහා බලාගෙන හිටපු ලොකු හාමුදුරුවො එක පාරටම මගෙන් එහෙම ඇහුව.


"අජාන් ඌටත් ජීවත් වෙන්න අයිතිය තියනවනෙ.අනික මම සත්තු මරන්නෙ නෑ"

 
සිල්වත් කමේ උපරිම තලයට ගිය මේ වගේ සංඝ පීතෘ නමක් මගෙන ඒවගේ ප්‍රශ්නයක් අහපු එකට මම කලබල වුනේ නෑ.මොකද කොයිම වෙලාවක හරි උන්වහන්සෙ මාව පරීක්ෂා කරන බව මම දැනගෙන හිටිය. 


                 ජීවිතේ බොහොමයක් හැලහැප්පීම් එක පිට එක ඇවිදින් මහා මූසල විදියට තරවටු කරනකොට, කවදාවත් නොදැකපු කෙනෙකුගෙ උදවුවෙන් අඳුනගත්තු ශේන් කියන බෞද්ධ මහත්මයගෙ මග පෙන්වීමෙන්, කලබලකාරී නාගරික ජීවිතෙන් මිදිල මේවගෙ තැනක ටික දවසක් නතරවෙන්න ලැබුන එක හිතට ලොකු සැනසීමක්.මුල්ම දවසෙ අපි ආරන්‍යයට යනකොට දවල් දානෙ වෙලාවත් කිට්ටුවෙලා.වෙනද වගේම එක එක තරා තිරම් වල, එක එක ජාති වල බෞද්ධයො, තම තමන්ට හැකි විදියට පිළියෙල කරගත්තු දවල් දානෙත් සූදානම් කරගෙන,හාමුදුරුවරු වඩින කම් දානශාලාවට වෙලා නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නව. 

දානෙ වැඩ කටයුතු ටික අවසාන වුනාට පස්සෙ පුරුදු වුදියට ලොකු හාමුදුරුවො ටික වෙලාවක් ධර්ම සාකච්චාවක යෙදෙනව.ඒ,ලෝකෙ හතර කොනින්ම එන මේ මිනිස්සුන්ගෙ නානාප්‍රකාර ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න.ඒ වැඩෙත් අහවර වෙලා ටික වෙලාවකින් ලොකු හාමුදුවුවො මාගවට වැඩිය.

"දිනේෂ් දවස් හතක්ම ඉන්නව නේද?"

"එහෙයි අජාන්!"

"ගිහින් අර පොඩි නමගෙන් දිනේෂ් ගෙ කුටියෙ යතුර ඉල්ලගන්න. මම කියාපු බඩු ටික ගේනාව නේද?"
"එහෙයි."



දාන ශාලාවෙන් පිටිපස්සෙ තියන පුංචි ආවසෙ ඇතුලෙ පොඩි හාමුදුරුවරු කීප නමක්ම වැඩ ඉන්නව.ඒ හැම කෙනෙක් ම බොහොම සිල්වත් උන්නාන්සෙල.කිසි කතාවක් බහක් නෑ.
පොඩි හාමුදුරුවන්ගෙන් යතුර ඉල්ලගත්තු මම කෙලින්ම ගියේ
කුටිය හොයාගෙන.ලෑලි වලින් හදපු පොඩි ඇඳකුත් ඒ අසලින්ම තිබුන පොඩි මේසෙකුත්,පුටුවකුත් පොඩි රෙදි රාක්කෙකුත්,පුන්චි හීටරේකුත් ඇරෙන්න මේ මුළු කුටියටම තිබුනෙ ඇඳට උඩින් එල්ලල තිබුන අජාන් චා හාමුදුරුවන්ගෙ පිතූරයක් විතරයි.බොහොම නිවිච්ච ඇස් දෙකකින්, මුළු ආත්මෙමෙ පසාරු කරගෙන යන බල්මකින් උන්නාන්සෙ කුටිය දිහාම බලාගෙන ඉන්නව.මම අරගෙන ගිය ටෝච් එකයි,දත් බුරුසුවයි ,ඇදුම් ටිකයි,බණ පොත් ටිකයි රෙන්න වෙන කිසිම දෙයක් නෑ.මේ සරල බව නිසා,බොහොම සංකීර්ණවෙලා තුබුන මගෙ ජීවිතේට ලොකු සැහැල්ලුවක් දැනෙන්න ගත්ත.
Related Posts Plugin for WordPress, Blogger...