Sep 22, 2012

මෛත්‍රී බුදුන්ටත් පලදෙන පාපකර්ම


අද ලියන්න යන කතාව, මේ මහා භද්‍ර කල්පයේදි පහළ වෙන අවසාන සම්මා සම්බුදුරජාණන්වහන්සේ වෙන, මෛත්‍රී බුදුහාමුදුරුවො ගැන ලියවුන එකක්.කර්මය සහ විපාකය කියන එක සමාන්‍ය අපි වගේම, සියලු කෙළෙස් නැති කරල, මේ ලෝකෙ ලබන්න පුලුවන් උතුම්ම තත්ත්වය වෙන බුද්ධත්වයට පත්වෙච්ච උත්තමයෙකුටත් පොදු ධර්මතාවයක් කියන එකට තියන වැදගත් උදාහරණයක් එකතු කරන කතාවක්.
මට මතක විදියට, ආගිය කතා ලියන අපේ හසිත සහෝදරය,  තවමත් කුක්කුට සම්පාත පර්වතය ඇතුලෙ ආරක්ෂා වෙලා තියන මහා කාශ්‍යප මහරහතන් වහන්සෙගේ දේහය ගැන ලිපියක් ලියල තිබුන මීට මාස දෙක තුනකට උඩදි.ඒක කියවපු අයට සහ ක කියවල එන අයට මම මේ ලියන්න යන කතාවට හොඳ ආරම්භයක් ගන්න පුලුවන් වෙයි.
කතාවෙ හැටියට කාශ්‍යප මහ රහතන් වන්හන්සෙ කරපු අධිෂ්ඨානය නිසා උන්වහන්සෙගේ දේහයට කිසිම අනතුරක් නොවී,මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ කාලය වෙනකම්ම කුක්කුට සම්පාත පර්වතය ඇතුලෙ ආරක්ෂාවෙලා තියනව.මෛත්‍රී බුදුහාමුදුරුවො උන්වහන්සෙගෙ ශ්‍රාවකයොත් එක්ක මේ ගල් තලාවට ඇවිත් උන්වහන්සෙගෙ ශ්‍රී හස්තයෙන්ම කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහය අරගෙන ශ්‍රාවකයන්ට පෙන්නල උන් වහන්සෙගෙ ශ්‍රී හස්තයෙන්ම ආදාහනය කරනව.ඒත් මේ වෙලාවෙ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී හස්තය පිච්චිලා අල්ල පුරා ලොකු ගෙඩියක් හට ගන්නව.මේකට හේතුව එතුමා අතින් සිද්ධ වෙච්ච අතීත පාපකර්මක ප්‍රතිඵලයක් කියල තමයි කියවෙන්නෙ.


මේ සිද්ධියට මූලික වෙච්ච අතීත කතාව තමයි මේ..

ඉස්සර  කාලෙක අපේ ගෞතම බුදුහාමුදුරුවො රජ කෙනෙක් වෙලා ඉපදිලා ඉන්නකොට, ඒ රජ තුමාගෙ ඇත් ගාලෙ ඇත්තු මෙල්ල කරන ඇත්ගොවුව වෙලා ඉපදිලා ඉඳල තියෙන්නෙ අපේ මෛත්‍රී බෝදිසත්වයන්වහන්සෙ.දවසක් රජතුමාට ගමනක් යන්න වෙලා ඇත් ගොවුවගෙන් ඇතෙක් ඉල්ලගෙන යනව.ඇත්ගොවුවත් ගාලෙ ඉන්න කීකරුම ඇතාව සරසල රජතුමාට බාර දෙනව.රජතුමා ටික දුරක් ඇතා පිට යද්දි ඇතින්නියකගෙ ඉව වැටිච්ච ඇතාට මද කිපිල, පිස්සු නටල, ඇතින්න හොයාගෙන කැලේට දුවනව.රජතුමා යන්තමට ගහක අත්තක එල්ලිලා තමයි ජීවිතේ බේරගෙන තියෙන්නෙ.පස්සෙන් පහු, රජ මාලිගාවට ආපු රජතුමා,අකීකරු ඇතෙක් තමන්ට දීපු එකට ඇත්ගොවුවට හොඳටම දොස් කියල තියනව.ඇත්ගොවුව කොච්චර කරුණු කිවුවත් රජතුමාගෙ හිත වෙනස් කරගන්න බැරිවෙලා.

දවස් දෙක තුනකට පස්සෙ තමන්ගෙ රාජකාරිය අහවර කරපු ඇතා කැලේ ඉඳල ආපහු ඇත් ගාලට එනව.ඇතාගෙ කීකරු කම මනින්න හිතාගෙන ඇත්ගොවුව එක එක දෙවල් කරන්න ඇතාට අණ කරනව.ඇතත් ඒ කියන හැම දේම ගොඩක් කීකරු හිතින් ඉශිඨ කරනව.ඇතා සම්පූර්ණයෙම්ම ඇත්ගොවුවට කීකරුද බලන්න අන්තිමටම ගිනියම් වෙච්ච යකඩයක් අල්ලන්න කියල ඇත්ගොවුව ඇතාට අණ කරනව.කඳුළු පිරිච්ච ඇස්වලින්  ඇත් ගොවුවගෙ මූණ දුහා බලගෙන කීකරු හිතින් ඇතා උගෙ හොඬින් අර ගිනියම් වෙලා රත් ගැහිච්ච යකඩෙ අල්ලනව.ඒ වෙලාවෙ ඇතාගෙ හොඬවැල චිරි චිරි ගාල පිච්චෙනව.ඇත්ගෝවුවගෙ අණින් ආපහු ඒ යකඩෙ ඇතා අතාරිනව.මේ සිද්ධියෙන් පස්සෙ හැමෝම දැනගන්නව ඇතා අකීකරු වුනේ ඌට ඇතිවෙච්ච රාග හැඟීම් නිසා කියල.ඒ කීකරු ඇතා වෙලා ඉපදිලා ඉඳල තියෙන්නෙ මහා කාශ්‍යප හාමුදුරුවො.එදා ඇත්ගොවුව වෙලා ඉපදිලා හිටපු මෛත්‍රී බෝදිසත්වයො ඇතාගෙ හොඬවැල පුච්චපු පව අනාගතේ බුද්ධත්වය ලැබුවට පස්සෙ විපාක දෙනව.

"මනෝ පුබ්බංගමා ධම්මා-මනෝ සෙට්ඨා මනෝමයා
මනසාචෙ පදුට්ඨෙන-භාසතිවා කරොතිවා
තතොනං දුක්ඛ මන්වෙති-චක්ඛංච වහතො පදං"


වේදනා,සංඥා,සංස්ඛාර යන ස්කන්ධත්‍රයට අයත් වූ ධම්ර්‍
සංඛ්‍යත චෛතසිකයෝ සිත පෙරටු කොටැ ඇත්තෝය.සිත උතුම් කොටැ ඇත්තෝය.සිතින් ම උපදිනා හ.ඉදින් ලෝභාදී අකුශල ගති හා යෙදීමෙන් කිලිටි වූ සිතින්,මෘෂවාදාදී චතුර්විධ වාග් දුශ්චරිතයන් අතුරෙන් යමක් කියයිද, ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කාය දුශ්චරිතයන් අතුරින් යමක් කරයිද,අභිධ්‍යාදී ත්‍රිවිධ මනො දුශ්චරිතයන් අතුරින් යමක් සිතයි ද,ඒ හේතුකොට ගෙන ගැල අදින්නා වූ ගොණාගේ පය අනුව ගමන් කරන රථ රෝදය මෙන් ඒ අකුශල කම්ර්‍ යෙහි විපාක වූ දුක් ඔහු පසු පස ගමන් කරන්නේය.
(ජේත්වන :චක්ඛුපාල තෙරුන් ඇරබ )

චෛතසිකයෝ:-සිත හා එක් ව උපදින, එක් ව නිරුද්ධ වන සිතිවිලි

චතුර්විධ වාග් දුශ්චරිත:-බොරු කීම ,කේලාම් කීම පරුෂ වචන කීම හා නිශ්ඵල වචන කීම
ත්‍රිවිධ කායදුශ්චරිත:-සතුන් මැරීම,සොරකම් කිරීම හා කාමයෙහි වරදවා හැසිරීම
ත්‍රිවිධ මනො දුශ්චරිතය:-අභිධ්‍යා,ව්‍යාපාද හා මිථ්‍යාදෘෂ්ටි

මේ ගෞතම බුදු සසුනේම උතුම් පන්චශීලය රකිනා සැදැහැතියන් බිහිවී වහ වහා ඔවුන් නිර්වාන ගාමී වේවා! 


මූලාශ්‍ර:පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමි ගේ කර්ම විපාක ග්‍රන්ථය.

Sep 12, 2012

සියදිවි නසාගත් ගෝධික හාමුදුරුවෝ

සතර දිශාවටත්,අනු දිශාවලටත්,උඩත් යටත් විහිදෙන අඳුරු දුමාරයකි. ශාක්‍යමුනීන්ද්‍රයානෝ රහතුන්ද පිරිවරා සන්සුන් ගමනින් ඉසිගිලි පව්ව දෙසට වඩිති.පවුව පාමුල ඇති ගල් තලාවේ, කුටියේ ඇඳ මත, ගෙළෙන් ලේ වැගිරෙන නිසළ සිරුරකි.ඇඳ පළ්ලෙහි වැටී ඇති ලේ තැවරුණු දැළි පිහියකි. ඒ නිසල සිරුර, අන් කවරෙකුගේ වත් නොව, ගෝධික තෙරුන්ගේ මළ සිරුර බව බුදුන් ප්‍රමුඛ සංඝයාවහන්සේට වැටහුනි. 

ඉසිගිලිය මනරම් පෙදෙසකි.පව්ව පාමුළ ගල්තලාවේ කුටියක බවුන් වැඩූ ගොධික තෙරනුවෝ උත්සහවන්තයෝය.කුටියේ විවේක සුවයෙන් වෙසෙන තෙරනුවෝ, සිය ශාස්තෘන් වහන්සේගේ මඟ යමින්,වීර්යයෙන් යුතු මනා සිහියෙන්, නො පමාවී  භවනාවෙන් ලෞකික ධාන්‍ය ලබාගත් සේක.  

එහත් ටික කලෙකින්, වෙහෙසවී ලබාගත් ධාන්‍යයෙන් තෙරණුවෝ පිරිහුනි.උත්සහය අත් නොහළ  උන්වහන්සේ , මනා සිත් ඇතිව, නැවතත් බවුන් වඩා, පිරිහී ගිය සිය ධාන්‍ය බල නැවත ලඟාකරගත් සේක.කලක් ගතවිය.නැවතත් තෙරණුවෝ භාවනාවෙන් පිරිහුනි.මෙසේ විටින් විට  ලඟාකරගත් ධාන්‍යයෙන්  සය වාරයක්ම පිරිහුනු නමුත්, ඒ හැම වරම,දැඩි උත්සහයෙන් නැවත සිය ලෞකික ධාන්‍යයෝ ලඟා කරගැනීම තෙරණුවෝ සමත් වූ සේක.


"සයවරක්  ම මා දැඩි  වීරියෙන් භාවනා කොට ඉප දවූ ධාන්‍යයෙන් පිරිහුනෝය.රහත් ඵල මග තවත් දුරය.නැවතත් ඒසේ වූවෝතින් තෙරක් නොපෙනෙන මේ සසරේ අනන්ත අපා දුකින් ගැලවීමට නොහැකිවනු ඇත."

නැවතත් ධාන්‍යයෙන් පිරිහීමට  මත්තෙන් සියතින්ම  ගෙළ සිඳ සියදිවි නසාගැනීමට උන්වහන්සේ නුවණ මෙහෙයවූහ.මේ බව දැනුනු වසවති මරු ගෝධික හිමියන්ගේ සියදිවි නසාගැනීම ගැන පැවසීමට බුදුන් කරා ගියේය.

තෙරණුවන්ගේ වීර්යය දැඩිය.එක සිතිවිළි මාත්‍රයක් වෙනස් නොවීය.තම කුටියට පිවිසි තෙරනුවෝ, ඇඳෙහි වැතිර, හිස කෙන් සිඳින දැළි පිහියෙන්ම සිය ගෙළ සිඳ ගත්හ.වේදනාව අධිකය.එහෙත් සංසාර දුක ඊටත් වඩා බියකරුය. තෙරණුවෝ ගෙළෙහි වේදනාවම විදසුණට පෙරළාගත් සේක.වෙදනාව කොතරම් අධික වුවත් විදසුන් සිත ඊට නොදෙවිනි සේ දැඩිවිය.

තෙරණුවන්ගේ මරණයත්,උතුම් වූ අරහත් බෝදියත් එකවරම සිදුවුනි.ගෞතම බුදුසසුනට තවත් එක් රහතුන්වන්හන්සේ කෙනෙකු බිහිවිය.


දුම් වළාවක් සේ අහස පීරා සෙවුවද මාර තෙමට ගෝධික භික්ෂුවගේ ප්‍රතිසන්දි චිත්තය සොයාගැනීමට නොහැකි විය.කුඩා ළමා වේශයකින්, වීණාවක්ද අතැතිව, බුදුන් හමුවට බට මාර තෙම, ගෝධික තෙර ගිය මඟ විමසීය.වීණාව දරා කුඩා ළමාවේශයෙන් සිටින්නේ වසවති මරු බව දැනගත් බුදු පියාණෝ,තෙරණුවෝ සියළු කෙලෙස් බැමි සිඳ, උතුම් අරිහත් ඵලයෙන් පිරිනිවනට ගිය බව පවසා මේ ගාතාව දෙසූ සේක.

"තෙසං සමපනනසීලානං
අප්පමාදවිහාරීනං
සමමදඤඤා විමුත්තානං
මාරො මගගං න වින්දතී"

"සම්පූණ සිල් ඇති,නො පමා ව කල් යවන,චතුරාය්‍ය සත්‍ය මනා ව අවබෝධ කොට කෙලෙසුන් ගෙන් මිදුණා වූ,ඒ රහතුන්  නිවන් ගිය මඟ මාරයා නොදකී"

ගෝධික මහ රහතන්වන්සේ සේ, මේ ගෞතම බුදු සසුනේම,දැඩි වීර්යයෙන් පිළිවෙත් පුරා,  උතුම් වූ නිර්වාණ ධාතුවෙන් සියළු සත්වයෝ නිවී සැනසේවා!

Sep 9, 2012

ගෑරුප්පුවෙන් ඉඳි ආප්ප කන වෙන්න ඔසි නංගි.


සතියක්ම එක දිගට කුස්සියේ තැම්බිලා, නිවාඩු ලැබුන ගමන් යාලුවො දෙතුන් දෙනෙක් එක්ක අහම්බෙන් වගේ සෙට් වෙච්ච ඩිනර් එකකදි, අපිට වුන පොඩි සිද්ධියක් මේ ලියන්න යන්නෙ.
මාත්, මගෙ යාලුවො තුන් දෙනෙකුත්, සිකුරාද රාත්‍රියෙ පොඩ්ඩක් එලියට ගියා.
හැමතාමත් පිටරට කෑම දැකල දැකල  එපාවෙලා හිටපු වෙලාවක, මෙහෙ තියන ලංකාවෙ තැනකින් බත් කටක් කන්න ලොකු උවමනාවක් නොතිබ්බම නෙමේ.හිරිපොද වැස්සයි, සීතලයි එක්ක රෑ අට විතර වෙනකොට අපි ගියා ප්ලේස් එකට.
මේක තමයි තැන,ග්ලෙන් වල තියන එලිෆන්ට් කොරිඩෝ කියන ප්ලේස් එක.

        Elephant Corridor, Glen Waverley



අපි එතනට යනකොටත් කට කපල සෙනග.හොඳට බිස්නස් තියන තැනක්.ටික වෙලාවක් බලා හිටියත් පාඩු නොවෙන නිසා අපි හතර දෙනා ඇතුලට වෙලා පොඩි කයියක් දාගෙන හිටිය.වැඩි පුරම ඇවිත් හිටියෙ ඔසියො,ලංකන් අයත් එහෙන් මෙහෙන් වාඩිවෙලා ඉන්නව.
ඔන්න අපේ වාරෙත් ආව.අපි වාඩි වුන තැනට දකුණු පැත්තෙන් ලොකු මේසෙක හෙන කට්ටියක්,බැලූ බැල්මට ලංකාවෙ වගෙ,අනිත් පැත්තෙන් හිටියෙ සුද්දො හතර දෙනෙක්.අම්බානක බඩගින්නෙ හිටිය නිසා අපි හතර දෙනාම හිතාගෙන ගියේ බඩේ ඉරි ඉරි තැලෙනකම්ම ගිලල එන්න.
අපි හිටියෙ මැද මේසෙ.

ස්ටීම් රයිස් හතරයි,කුකුල් මස් එකයි.ඉඳි ආප්පයි,කිරි හොදි,ඉස්සොයි ඩෙවල් එකකුයි,සම්බෝලයි.ඔන්න අපි කරපු ඕඩරේ.මෙතන ඉතින් මහ ලොකු කෑම ගොඩක් තියනවද?හතර දෙනෙකුට යාන්තමට ඇති.ඒත්, බත් පෝශන් දෙක මේසෙට එනකොට ම වම් පැත්තෙ මේසෙ වාඩිවෙ ලාහිටපු වයසක සුද්දගෙ ඇස් උඩ ගියා.ඉතිරු ටික එනකොට ඌ බයවෙලා.මනුස්සය කියනව,

"Compare to what you’re having, we’re just having our breakfast. Ha.. ha.. ha"


අපිත් නිකන් ඉදීද,

" Yep we're Lankans,this is common when a Sri Lankan comes to a Sri Lankan restaurant. We are still a Nation who eats well..

සුද්ද කොර.ඊට පස්සෙ ඌ කැම ගැන කතාවට ආවෙ නෑ

කෑම ගැන කියනව නම්,මම ලංකාවෙන් ආවට පස්සෙ කාපු රසම කුකුල් මස් කරි එක.ඉතින් කතා මොනවටද, කෙළල ඇරිය හනුම ගිලින්න වගේ.ඒත් අනිත් පැත්තෙ හිටපු ලංකාවෙ කට්ටිය නිකන් ඔසියො වගේ වෙන්න හදන ජාතියේ ඩයල් ටිකක්.බත් කාල ඉවරවෙන කොට ඉඳි ආප්ප කන්න හොදි නෑ.ඉතින් තව කරියක් ඕඩර් කලා.ඒ අස්සෙ ඉතින් බත් කාපු හැදි ගෑරුප්පු පැත්තකට තියල බෙදාගත්ත අතින්ම ඉදි ආප්ප ටික.පොඩි වෙලාවක් යනකොට  මාගවම හිටපු මගෙ යාලුව එක සිය ගානට බනිනව,

"මුන් ඉදි ආප්ප කාල නැද්ද, #&%("
"මුන්ගෙ අප්පල සුද්දොද?"

ඔහොම මෙහෙම කතා ගොඩයි.

"ඇයි බන් එක පාරට..."

ඉඳි ආප්ප සීන් එකෙ හිටපු මට,මූ කියන කතාව තෙරුනෙ නෑ.

"නෑ බං අර කෙළවරේ ඉන්න කෑල්ල ඒකිගෙ යාලුවට කියනව"

"ඉඩි ආප්ප අටින් කඩ කඩ කන්නෙ" කියල.


අපේ කටවලුත් එච්චර හොඳ නැති නිසා, ඊට පස්සෙ කියපු කතා වලට ඒ කෙල්ලගෙ කට වැහුන.ඔහොම මෙහෙම ගිහින් ඇවිද ගන්න බැරි සයිස් එකට කාල අපි එන්න පිටත් වුනා.

වටේම සුද්දො හිටියත්, උන්ට අපි ගැන ගානක් නෑ,අපිට උන් ගැන ගානක් නෑ.උන් උන්ගෙ පාඩුවේ කෑව,අපි අපේ පාඩුවේ කෑව,ඒත් සුද්දො වෙන්න හදන අපේ ලංකාවෙ අයට තියන ජම්ම පුරුද්ද වෙච්ච, අනුන්ගෙ දේවල් හොයන එක,ලස්සනට ඇඳල,මේක් අප් දාල ඔසි වෙන්න හැදුවට ලේවලින් ගිහින් නෑ.තමන්ගෙ ඇස්වල තියන පොල් පරාල නොදැක අනුන්ගෙ ඉඳිකටු ගැන හොයනව.
තැන ගැන කියනව නම්,හොඳ සර්විස් එක්ක තියන,ගොඩක් රසට කැම තියන,ලස්සන වේටර් නංගිල ටිකක් ඉන්න(එක්කෙනෙකුට මට හිතත් ගියා) නියම පොට් එක.


Sep 5, 2012

රැගෙන ගිය රෝස මල




හීතලට පිනි වැටෙන
සඳු දිනක පාන්දර
නිම්නයේ කඳු අතර
පිපීගෙන හිනැහෙන්න
යාන්තමට ඇස් ඇරපු
ලා පාට රෝස මල
උදුරගෙන ගෙන ගියා
ඈත දුර සුර ලෝකෙ
මාලිගාවේ මිදුලේ
මල් වත්තෙ හිටවන්න
හැමදාම ආදරෙන්
දුර ඉඳන් බලා හිටි
වලාකුළු වියලුනා
රෝස මල නැති දුකට



Related Posts Plugin for WordPress, Blogger...