Nov 18, 2012

ඇගේ මළගම



ඇගේ මළගම.. දිනය අවසන..
නිසළ ඇගෙ.. මළ සිරුර සැතපෙනෙ..
කඳුලු පෙට්ටිය.. කර තියාගෙන..
නො එන  ගමනක්..  රැගෙන යන්නට..
බැරිව ගිය තැන.. අඳුරු හවසක..
ඇය ඉතිරි කර.. මට දාමා ගිය..
පෙර අතීතෙක.. මතක සැමරුම..
තනිව රැකගමි.. සුසුම් මැදි කොට..
නිධන් කර.. හදවතේ ගැඹුරක..


Oct 2, 2012

බුදු වදනට හිත පැහැදී දෙව්ලොව ගිය ගෙම්බෙක්

ඔන්න අපේ ගෞතම බුදු හාමුදුරුවො
 දවසක් චම්පා නුවර ගග්ගරා කියන පොකුණ ලඟ ධර්මය දේශනා කරමින් වැඩ ඉන්නව.මේ වෙලාවෙ එතැනට එන එක් දෙවි පුතෙක්,දසත බබුලුවමින් බුදු සිරිපා වන්දනා කරනව.ඉර්ධිමත්  බවින්,යසසින් බබලන, මනහර රූ සපුවෙන් සතර දිශාවම එලිය කරමින්, මගේ පා වන්දනා කරන නුඹ කවුදැයි කියල බුදුහාමුදුරුවො මේ ශෝභා සම්පන්න දෙවි පුත්‍රයගෙන් විමසනව.තමන්ට මේ වගේ දිව්‍ය සම්පත් ලැබෙන්න හේතු වුන කාරණාව ගැන මේ දෙවිය ඒ වෙලාවෙ බුදුහාමුදුරුවන්ට විස්තර කරනව.(මම හිතන විදියට, මේ ගැන බුදුහාමුදුරුවො දැනගෙනම තමා අහනන් ඇත්තෙ. අර චත්ත මානවක කතාවෙ වගේ)



කතාව මෙහෙමයි...

අපේ බුදුහාමුදුරුවො ගග්ගරා පොකුණ ලඟ ධර්මය දෙශනා කරන වෙලාවෙ, මේ පොකුණෙ ම ජීවත් වෙච්ච ගෙම්බෙකුට බුදුපියාණන්වහන්සෙගෙ අෂ්ටාංග සමන්වාගත ස්වරයෙන් දේශණා කරන බුදු වදන් ඇහෙන්න ගන්නව.තිරිසන් අපායෙ ඉපදිච්ච මේ ගෙම්බට උතුම් බුද්ධ ධර්මය දරාගෙන වටහගන්න  හැකියාවක් නැති වුනාට, බුදු මුවින් පිටවෙන මිහිරි ස්වරයට හිත පැහැදිළා, ඒ දිහාව කන් යොමු කරගෙන අහගෙන ඉන්නව.මේ වෙලාවෙ පොකුණ ගාවට එන හරක් බලන ගොපළු මනුස්සයෙකුත් බුදු බණ අහන්නයි කියල හිතාගෙන, තමන්ගෙ අතේ තිබුන හරක් මෙල්ල කරන්න පවිච්චිකරන කෙවිට පොළොවට ඇනල, ඒකට තමගේ ඇඟේ බර දීල බණ අහන්න ලැහැස්ති වෙනව. අවාසනාවට ගොපළු  මනුස්සය පොළවට අනින කෙව්ට,බුදු බණ අහගෙන හිටපු අර ගෙම්බගෙ ඇඟ පසාරු කරගෙන ගිහින් ගෙම්බ  එතනම මියැදිලා, සුරක් ගහන සැනින් ඒ ගෙම්බ මහානුභාව සම්පන්න දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඒ වෙලාවෙම දෙව් ලොව උපදිනව.

දෙව්ලොව ඉපදිච්ච මේ මණ්ඩුක කියන දිව්‍ය පුත්‍රය තමන්ට මෙච්ච දිව්‍ය යසසක් ලැබෙන්න කරපු කුසලය මොකක්ද කියල බලන්න තමන්ගෙ පෙර ආත්මය සිහිකරනව.බුදු බණට කන් දීගෙන ඉදල හිත පැහැදිළා පොකුණ ගාවදි මැරිච්ච ගෙම්බ තමන්ගෙ පෙර ආත්මය කියල මේ දෙවි පුත්‍රයගෙ දිවැසට පේන්න ගන්නව. ඒ වෙලාවෙම මේ මණ්ඩුක දෙවි පුතා ගග්ගරා පොකුණ ගාව ධර්මය දේශණා කරන  බුදුහාමුදුරුවො  බැහැදකින්න දිව්‍ය ලෝකෙ ඉඳන් මනුලොවට එනව.

ගෙම්බෙක් වෙලා හිටපු මට ඔබවහන්සෙගෙ බුදු වදනට හිත පහදාගෙන  මේ තරම් දිව්‍ය සම්පත් ලැබුන නම්,ඔබවහන්සෙගෙ ධර්මය බොහෝ කාලයක් අහපු සිල්වතුන්ට මොන තරම් සම්පත් ලැබෙවිද කියල මේ දිව්‍ය පුත්‍රය බුදුපියාණන්ගෙන් විමසනව.අන්තිමට බුදු  හාමුදුරුවන්ගේ ධර්ම දෙශණාව අහගෙන ඉඳල මේ මණ්ඩුක දෙවි පුතා සෝවාන් මාර්ග ඵලයෙන් නිර්වාණගාමී වෙනව.

"කුද්දක නිකාය - විමාන වත්තු පාළි-මාරථ වග්ග-මණ්ඩුක දේවපුත්ත  විමානය"

ප.ලි
බුදු හාමුදුරුවන්ගෙ ස්වර මාත්‍රයට හිත පැහැදිළා මේ වගේ දිව්‍ය සම්පත් ලැබෙනව නම්, මේ ගෞතම බුද්ධ ශාසනේ පංසිල් රකින ගුණධර්ම පුරන පිංවත් අයට කොච්චර නම් පිහිටක් ලැබෙයිද! ඒ වගේම කෙළක් නැති සංසාරෙ ගැන කිසිම අවභෝදයක් නැතුව, බොරු කියන( :-) ) අකුසල් කරන, පවුකාරයින්ට  කාගෙන්වත් කිසිම පිළිසරණක් කවදාවත්ම ලැබෙන එකකුත් නැතිවෙයි  කියල තමයි අන්තිමට කියන්න තියෙන්නෙ.

Sep 22, 2012

මෛත්‍රී බුදුන්ටත් පලදෙන පාපකර්ම


අද ලියන්න යන කතාව, මේ මහා භද්‍ර කල්පයේදි පහළ වෙන අවසාන සම්මා සම්බුදුරජාණන්වහන්සේ වෙන, මෛත්‍රී බුදුහාමුදුරුවො ගැන ලියවුන එකක්.කර්මය සහ විපාකය කියන එක සමාන්‍ය අපි වගේම, සියලු කෙළෙස් නැති කරල, මේ ලෝකෙ ලබන්න පුලුවන් උතුම්ම තත්ත්වය වෙන බුද්ධත්වයට පත්වෙච්ච උත්තමයෙකුටත් පොදු ධර්මතාවයක් කියන එකට තියන වැදගත් උදාහරණයක් එකතු කරන කතාවක්.
මට මතක විදියට, ආගිය කතා ලියන අපේ හසිත සහෝදරය,  තවමත් කුක්කුට සම්පාත පර්වතය ඇතුලෙ ආරක්ෂා වෙලා තියන මහා කාශ්‍යප මහරහතන් වහන්සෙගේ දේහය ගැන ලිපියක් ලියල තිබුන මීට මාස දෙක තුනකට උඩදි.ඒක කියවපු අයට සහ ක කියවල එන අයට මම මේ ලියන්න යන කතාවට හොඳ ආරම්භයක් ගන්න පුලුවන් වෙයි.
කතාවෙ හැටියට කාශ්‍යප මහ රහතන් වන්හන්සෙ කරපු අධිෂ්ඨානය නිසා උන්වහන්සෙගේ දේහයට කිසිම අනතුරක් නොවී,මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ කාලය වෙනකම්ම කුක්කුට සම්පාත පර්වතය ඇතුලෙ ආරක්ෂාවෙලා තියනව.මෛත්‍රී බුදුහාමුදුරුවො උන්වහන්සෙගෙ ශ්‍රාවකයොත් එක්ක මේ ගල් තලාවට ඇවිත් උන්වහන්සෙගෙ ශ්‍රී හස්තයෙන්ම කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහය අරගෙන ශ්‍රාවකයන්ට පෙන්නල උන් වහන්සෙගෙ ශ්‍රී හස්තයෙන්ම ආදාහනය කරනව.ඒත් මේ වෙලාවෙ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී හස්තය පිච්චිලා අල්ල පුරා ලොකු ගෙඩියක් හට ගන්නව.මේකට හේතුව එතුමා අතින් සිද්ධ වෙච්ච අතීත පාපකර්මක ප්‍රතිඵලයක් කියල තමයි කියවෙන්නෙ.


මේ සිද්ධියට මූලික වෙච්ච අතීත කතාව තමයි මේ..

ඉස්සර  කාලෙක අපේ ගෞතම බුදුහාමුදුරුවො රජ කෙනෙක් වෙලා ඉපදිලා ඉන්නකොට, ඒ රජ තුමාගෙ ඇත් ගාලෙ ඇත්තු මෙල්ල කරන ඇත්ගොවුව වෙලා ඉපදිලා ඉඳල තියෙන්නෙ අපේ මෛත්‍රී බෝදිසත්වයන්වහන්සෙ.දවසක් රජතුමාට ගමනක් යන්න වෙලා ඇත් ගොවුවගෙන් ඇතෙක් ඉල්ලගෙන යනව.ඇත්ගොවුවත් ගාලෙ ඉන්න කීකරුම ඇතාව සරසල රජතුමාට බාර දෙනව.රජතුමා ටික දුරක් ඇතා පිට යද්දි ඇතින්නියකගෙ ඉව වැටිච්ච ඇතාට මද කිපිල, පිස්සු නටල, ඇතින්න හොයාගෙන කැලේට දුවනව.රජතුමා යන්තමට ගහක අත්තක එල්ලිලා තමයි ජීවිතේ බේරගෙන තියෙන්නෙ.පස්සෙන් පහු, රජ මාලිගාවට ආපු රජතුමා,අකීකරු ඇතෙක් තමන්ට දීපු එකට ඇත්ගොවුවට හොඳටම දොස් කියල තියනව.ඇත්ගොවුව කොච්චර කරුණු කිවුවත් රජතුමාගෙ හිත වෙනස් කරගන්න බැරිවෙලා.

දවස් දෙක තුනකට පස්සෙ තමන්ගෙ රාජකාරිය අහවර කරපු ඇතා කැලේ ඉඳල ආපහු ඇත් ගාලට එනව.ඇතාගෙ කීකරු කම මනින්න හිතාගෙන ඇත්ගොවුව එක එක දෙවල් කරන්න ඇතාට අණ කරනව.ඇතත් ඒ කියන හැම දේම ගොඩක් කීකරු හිතින් ඉශිඨ කරනව.ඇතා සම්පූර්ණයෙම්ම ඇත්ගොවුවට කීකරුද බලන්න අන්තිමටම ගිනියම් වෙච්ච යකඩයක් අල්ලන්න කියල ඇත්ගොවුව ඇතාට අණ කරනව.කඳුළු පිරිච්ච ඇස්වලින්  ඇත් ගොවුවගෙ මූණ දුහා බලගෙන කීකරු හිතින් ඇතා උගෙ හොඬින් අර ගිනියම් වෙලා රත් ගැහිච්ච යකඩෙ අල්ලනව.ඒ වෙලාවෙ ඇතාගෙ හොඬවැල චිරි චිරි ගාල පිච්චෙනව.ඇත්ගෝවුවගෙ අණින් ආපහු ඒ යකඩෙ ඇතා අතාරිනව.මේ සිද්ධියෙන් පස්සෙ හැමෝම දැනගන්නව ඇතා අකීකරු වුනේ ඌට ඇතිවෙච්ච රාග හැඟීම් නිසා කියල.ඒ කීකරු ඇතා වෙලා ඉපදිලා ඉඳල තියෙන්නෙ මහා කාශ්‍යප හාමුදුරුවො.එදා ඇත්ගොවුව වෙලා ඉපදිලා හිටපු මෛත්‍රී බෝදිසත්වයො ඇතාගෙ හොඬවැල පුච්චපු පව අනාගතේ බුද්ධත්වය ලැබුවට පස්සෙ විපාක දෙනව.

"මනෝ පුබ්බංගමා ධම්මා-මනෝ සෙට්ඨා මනෝමයා
මනසාචෙ පදුට්ඨෙන-භාසතිවා කරොතිවා
තතොනං දුක්ඛ මන්වෙති-චක්ඛංච වහතො පදං"


වේදනා,සංඥා,සංස්ඛාර යන ස්කන්ධත්‍රයට අයත් වූ ධම්ර්‍
සංඛ්‍යත චෛතසිකයෝ සිත පෙරටු කොටැ ඇත්තෝය.සිත උතුම් කොටැ ඇත්තෝය.සිතින් ම උපදිනා හ.ඉදින් ලෝභාදී අකුශල ගති හා යෙදීමෙන් කිලිටි වූ සිතින්,මෘෂවාදාදී චතුර්විධ වාග් දුශ්චරිතයන් අතුරෙන් යමක් කියයිද, ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කාය දුශ්චරිතයන් අතුරින් යමක් කරයිද,අභිධ්‍යාදී ත්‍රිවිධ මනො දුශ්චරිතයන් අතුරින් යමක් සිතයි ද,ඒ හේතුකොට ගෙන ගැල අදින්නා වූ ගොණාගේ පය අනුව ගමන් කරන රථ රෝදය මෙන් ඒ අකුශල කම්ර්‍ යෙහි විපාක වූ දුක් ඔහු පසු පස ගමන් කරන්නේය.
(ජේත්වන :චක්ඛුපාල තෙරුන් ඇරබ )

චෛතසිකයෝ:-සිත හා එක් ව උපදින, එක් ව නිරුද්ධ වන සිතිවිලි

චතුර්විධ වාග් දුශ්චරිත:-බොරු කීම ,කේලාම් කීම පරුෂ වචන කීම හා නිශ්ඵල වචන කීම
ත්‍රිවිධ කායදුශ්චරිත:-සතුන් මැරීම,සොරකම් කිරීම හා කාමයෙහි වරදවා හැසිරීම
ත්‍රිවිධ මනො දුශ්චරිතය:-අභිධ්‍යා,ව්‍යාපාද හා මිථ්‍යාදෘෂ්ටි

මේ ගෞතම බුදු සසුනේම උතුම් පන්චශීලය රකිනා සැදැහැතියන් බිහිවී වහ වහා ඔවුන් නිර්වාන ගාමී වේවා! 


මූලාශ්‍ර:පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමි ගේ කර්ම විපාක ග්‍රන්ථය.

Sep 12, 2012

සියදිවි නසාගත් ගෝධික හාමුදුරුවෝ

සතර දිශාවටත්,අනු දිශාවලටත්,උඩත් යටත් විහිදෙන අඳුරු දුමාරයකි. ශාක්‍යමුනීන්ද්‍රයානෝ රහතුන්ද පිරිවරා සන්සුන් ගමනින් ඉසිගිලි පව්ව දෙසට වඩිති.පවුව පාමුල ඇති ගල් තලාවේ, කුටියේ ඇඳ මත, ගෙළෙන් ලේ වැගිරෙන නිසළ සිරුරකි.ඇඳ පළ්ලෙහි වැටී ඇති ලේ තැවරුණු දැළි පිහියකි. ඒ නිසල සිරුර, අන් කවරෙකුගේ වත් නොව, ගෝධික තෙරුන්ගේ මළ සිරුර බව බුදුන් ප්‍රමුඛ සංඝයාවහන්සේට වැටහුනි. 

ඉසිගිලිය මනරම් පෙදෙසකි.පව්ව පාමුළ ගල්තලාවේ කුටියක බවුන් වැඩූ ගොධික තෙරනුවෝ උත්සහවන්තයෝය.කුටියේ විවේක සුවයෙන් වෙසෙන තෙරනුවෝ, සිය ශාස්තෘන් වහන්සේගේ මඟ යමින්,වීර්යයෙන් යුතු මනා සිහියෙන්, නො පමාවී  භවනාවෙන් ලෞකික ධාන්‍ය ලබාගත් සේක.  

එහත් ටික කලෙකින්, වෙහෙසවී ලබාගත් ධාන්‍යයෙන් තෙරණුවෝ පිරිහුනි.උත්සහය අත් නොහළ  උන්වහන්සේ , මනා සිත් ඇතිව, නැවතත් බවුන් වඩා, පිරිහී ගිය සිය ධාන්‍ය බල නැවත ලඟාකරගත් සේක.කලක් ගතවිය.නැවතත් තෙරණුවෝ භාවනාවෙන් පිරිහුනි.මෙසේ විටින් විට  ලඟාකරගත් ධාන්‍යයෙන්  සය වාරයක්ම පිරිහුනු නමුත්, ඒ හැම වරම,දැඩි උත්සහයෙන් නැවත සිය ලෞකික ධාන්‍යයෝ ලඟා කරගැනීම තෙරණුවෝ සමත් වූ සේක.


"සයවරක්  ම මා දැඩි  වීරියෙන් භාවනා කොට ඉප දවූ ධාන්‍යයෙන් පිරිහුනෝය.රහත් ඵල මග තවත් දුරය.නැවතත් ඒසේ වූවෝතින් තෙරක් නොපෙනෙන මේ සසරේ අනන්ත අපා දුකින් ගැලවීමට නොහැකිවනු ඇත."

නැවතත් ධාන්‍යයෙන් පිරිහීමට  මත්තෙන් සියතින්ම  ගෙළ සිඳ සියදිවි නසාගැනීමට උන්වහන්සේ නුවණ මෙහෙයවූහ.මේ බව දැනුනු වසවති මරු ගෝධික හිමියන්ගේ සියදිවි නසාගැනීම ගැන පැවසීමට බුදුන් කරා ගියේය.

තෙරණුවන්ගේ වීර්යය දැඩිය.එක සිතිවිළි මාත්‍රයක් වෙනස් නොවීය.තම කුටියට පිවිසි තෙරනුවෝ, ඇඳෙහි වැතිර, හිස කෙන් සිඳින දැළි පිහියෙන්ම සිය ගෙළ සිඳ ගත්හ.වේදනාව අධිකය.එහෙත් සංසාර දුක ඊටත් වඩා බියකරුය. තෙරණුවෝ ගෙළෙහි වේදනාවම විදසුණට පෙරළාගත් සේක.වෙදනාව කොතරම් අධික වුවත් විදසුන් සිත ඊට නොදෙවිනි සේ දැඩිවිය.

තෙරණුවන්ගේ මරණයත්,උතුම් වූ අරහත් බෝදියත් එකවරම සිදුවුනි.ගෞතම බුදුසසුනට තවත් එක් රහතුන්වන්හන්සේ කෙනෙකු බිහිවිය.


දුම් වළාවක් සේ අහස පීරා සෙවුවද මාර තෙමට ගෝධික භික්ෂුවගේ ප්‍රතිසන්දි චිත්තය සොයාගැනීමට නොහැකි විය.කුඩා ළමා වේශයකින්, වීණාවක්ද අතැතිව, බුදුන් හමුවට බට මාර තෙම, ගෝධික තෙර ගිය මඟ විමසීය.වීණාව දරා කුඩා ළමාවේශයෙන් සිටින්නේ වසවති මරු බව දැනගත් බුදු පියාණෝ,තෙරණුවෝ සියළු කෙලෙස් බැමි සිඳ, උතුම් අරිහත් ඵලයෙන් පිරිනිවනට ගිය බව පවසා මේ ගාතාව දෙසූ සේක.

"තෙසං සමපනනසීලානං
අප්පමාදවිහාරීනං
සමමදඤඤා විමුත්තානං
මාරො මගගං න වින්දතී"

"සම්පූණ සිල් ඇති,නො පමා ව කල් යවන,චතුරාය්‍ය සත්‍ය මනා ව අවබෝධ කොට කෙලෙසුන් ගෙන් මිදුණා වූ,ඒ රහතුන්  නිවන් ගිය මඟ මාරයා නොදකී"

ගෝධික මහ රහතන්වන්සේ සේ, මේ ගෞතම බුදු සසුනේම,දැඩි වීර්යයෙන් පිළිවෙත් පුරා,  උතුම් වූ නිර්වාණ ධාතුවෙන් සියළු සත්වයෝ නිවී සැනසේවා!

Sep 9, 2012

ගෑරුප්පුවෙන් ඉඳි ආප්ප කන වෙන්න ඔසි නංගි.


සතියක්ම එක දිගට කුස්සියේ තැම්බිලා, නිවාඩු ලැබුන ගමන් යාලුවො දෙතුන් දෙනෙක් එක්ක අහම්බෙන් වගේ සෙට් වෙච්ච ඩිනර් එකකදි, අපිට වුන පොඩි සිද්ධියක් මේ ලියන්න යන්නෙ.
මාත්, මගෙ යාලුවො තුන් දෙනෙකුත්, සිකුරාද රාත්‍රියෙ පොඩ්ඩක් එලියට ගියා.
හැමතාමත් පිටරට කෑම දැකල දැකල  එපාවෙලා හිටපු වෙලාවක, මෙහෙ තියන ලංකාවෙ තැනකින් බත් කටක් කන්න ලොකු උවමනාවක් නොතිබ්බම නෙමේ.හිරිපොද වැස්සයි, සීතලයි එක්ක රෑ අට විතර වෙනකොට අපි ගියා ප්ලේස් එකට.
මේක තමයි තැන,ග්ලෙන් වල තියන එලිෆන්ට් කොරිඩෝ කියන ප්ලේස් එක.

        Elephant Corridor, Glen Waverley



අපි එතනට යනකොටත් කට කපල සෙනග.හොඳට බිස්නස් තියන තැනක්.ටික වෙලාවක් බලා හිටියත් පාඩු නොවෙන නිසා අපි හතර දෙනා ඇතුලට වෙලා පොඩි කයියක් දාගෙන හිටිය.වැඩි පුරම ඇවිත් හිටියෙ ඔසියො,ලංකන් අයත් එහෙන් මෙහෙන් වාඩිවෙලා ඉන්නව.
ඔන්න අපේ වාරෙත් ආව.අපි වාඩි වුන තැනට දකුණු පැත්තෙන් ලොකු මේසෙක හෙන කට්ටියක්,බැලූ බැල්මට ලංකාවෙ වගෙ,අනිත් පැත්තෙන් හිටියෙ සුද්දො හතර දෙනෙක්.අම්බානක බඩගින්නෙ හිටිය නිසා අපි හතර දෙනාම හිතාගෙන ගියේ බඩේ ඉරි ඉරි තැලෙනකම්ම ගිලල එන්න.
අපි හිටියෙ මැද මේසෙ.

ස්ටීම් රයිස් හතරයි,කුකුල් මස් එකයි.ඉඳි ආප්පයි,කිරි හොදි,ඉස්සොයි ඩෙවල් එකකුයි,සම්බෝලයි.ඔන්න අපි කරපු ඕඩරේ.මෙතන ඉතින් මහ ලොකු කෑම ගොඩක් තියනවද?හතර දෙනෙකුට යාන්තමට ඇති.ඒත්, බත් පෝශන් දෙක මේසෙට එනකොට ම වම් පැත්තෙ මේසෙ වාඩිවෙ ලාහිටපු වයසක සුද්දගෙ ඇස් උඩ ගියා.ඉතිරු ටික එනකොට ඌ බයවෙලා.මනුස්සය කියනව,

"Compare to what you’re having, we’re just having our breakfast. Ha.. ha.. ha"


අපිත් නිකන් ඉදීද,

" Yep we're Lankans,this is common when a Sri Lankan comes to a Sri Lankan restaurant. We are still a Nation who eats well..

සුද්ද කොර.ඊට පස්සෙ ඌ කැම ගැන කතාවට ආවෙ නෑ

කෑම ගැන කියනව නම්,මම ලංකාවෙන් ආවට පස්සෙ කාපු රසම කුකුල් මස් කරි එක.ඉතින් කතා මොනවටද, කෙළල ඇරිය හනුම ගිලින්න වගේ.ඒත් අනිත් පැත්තෙ හිටපු ලංකාවෙ කට්ටිය නිකන් ඔසියො වගේ වෙන්න හදන ජාතියේ ඩයල් ටිකක්.බත් කාල ඉවරවෙන කොට ඉඳි ආප්ප කන්න හොදි නෑ.ඉතින් තව කරියක් ඕඩර් කලා.ඒ අස්සෙ ඉතින් බත් කාපු හැදි ගෑරුප්පු පැත්තකට තියල බෙදාගත්ත අතින්ම ඉදි ආප්ප ටික.පොඩි වෙලාවක් යනකොට  මාගවම හිටපු මගෙ යාලුව එක සිය ගානට බනිනව,

"මුන් ඉදි ආප්ප කාල නැද්ද, #&%("
"මුන්ගෙ අප්පල සුද්දොද?"

ඔහොම මෙහෙම කතා ගොඩයි.

"ඇයි බන් එක පාරට..."

ඉඳි ආප්ප සීන් එකෙ හිටපු මට,මූ කියන කතාව තෙරුනෙ නෑ.

"නෑ බං අර කෙළවරේ ඉන්න කෑල්ල ඒකිගෙ යාලුවට කියනව"

"ඉඩි ආප්ප අටින් කඩ කඩ කන්නෙ" කියල.


අපේ කටවලුත් එච්චර හොඳ නැති නිසා, ඊට පස්සෙ කියපු කතා වලට ඒ කෙල්ලගෙ කට වැහුන.ඔහොම මෙහෙම ගිහින් ඇවිද ගන්න බැරි සයිස් එකට කාල අපි එන්න පිටත් වුනා.

වටේම සුද්දො හිටියත්, උන්ට අපි ගැන ගානක් නෑ,අපිට උන් ගැන ගානක් නෑ.උන් උන්ගෙ පාඩුවේ කෑව,අපි අපේ පාඩුවේ කෑව,ඒත් සුද්දො වෙන්න හදන අපේ ලංකාවෙ අයට තියන ජම්ම පුරුද්ද වෙච්ච, අනුන්ගෙ දේවල් හොයන එක,ලස්සනට ඇඳල,මේක් අප් දාල ඔසි වෙන්න හැදුවට ලේවලින් ගිහින් නෑ.තමන්ගෙ ඇස්වල තියන පොල් පරාල නොදැක අනුන්ගෙ ඉඳිකටු ගැන හොයනව.
තැන ගැන කියනව නම්,හොඳ සර්විස් එක්ක තියන,ගොඩක් රසට කැම තියන,ලස්සන වේටර් නංගිල ටිකක් ඉන්න(එක්කෙනෙකුට මට හිතත් ගියා) නියම පොට් එක.


Sep 5, 2012

රැගෙන ගිය රෝස මල




හීතලට පිනි වැටෙන
සඳු දිනක පාන්දර
නිම්නයේ කඳු අතර
පිපීගෙන හිනැහෙන්න
යාන්තමට ඇස් ඇරපු
ලා පාට රෝස මල
උදුරගෙන ගෙන ගියා
ඈත දුර සුර ලෝකෙ
මාලිගාවේ මිදුලේ
මල් වත්තෙ හිටවන්න
හැමදාම ආදරෙන්
දුර ඉඳන් බලා හිටි
වලාකුළු වියලුනා
රෝස මල නැති දුකට



Aug 25, 2012

කඳුළු ගඟෙන්,කිරි සයුරට..

 මාසෙකට වඩා වැඩි කාලයක් යකාගෙ කම්මල වගේ තිබුනු ඔලුගෙඩියට ඊයෙ දවසෙ පොඩි විවේකයක් ලැබුන.ඒ මෙල්බන් වල බෞද්ධයො අතර ගොඩක් ප්‍රසිද්ධ වොබර්ටන්  පංසලට පය ගහන්න ලැබිච්ච වාසනාව නිසා.නම,ගම වත් දන්නෙ නැති, නන්නාදුනන කෙනෙක් බොලොග් එකේ ක්මෙන්ට් අතරෙ කරපු යෝජනාව මේ ගමනට මුල් වුනා කිවුවොත් ඒක වැරදි නෑ.ඒ කල්‍යාණ මිත්‍රයට බොහොම පින්.එයා නිසා මට තව ඒවගේ අය බොහෝ දෙනෙක් අඳුනගන්න ලැබුන.


හාමුදුරුවන්ගෙ දානෙට බත් එකකුත් උයාගෙන ගමන යන්න උදේම පිටත් උනා.මාව එක්කගෙන ගියේ වික්ටෝරියන් බුඩ්ස්ට් සොසයිටී එකෙන් අඳුන ගත්තු ශේන් කියන සුදු මහත්තය එක්ක.පැයක් හමාරක් යනකොට අපි  පංසලේ.

එතනදි හිතට එන හැගීම වචන වලට හරවන්න බෑ.මාසෙම අඬපු කඳුලු ටික එකපාටම වේලිලා ගියා.ඒ තරමට හිත නිවෙන තැනක්.වටේම කඳු,මීදුම,පින්න,සීතල මේ ඔක්කොමත් එක්ක හාමුදුරුවරුන්ගෙ සිල් සුවඳ.දාල එන්න හිතුනෙ නෑ.

දානෙ ඉවර කරල අපි ගියා   පංසලේ ලොකු හාමුදුරුවො බැහැදකින්න.උන්නාන්සෙගෙ නම අජාන් කල්‍යනෝ.එන්ගලන්තෙ ඉපදිලා පස්සෙ ගොඩ කාලයක් තායිලන්තෙ අජාන් චා හාමුදුරුවො ගාව මහණවෙලා ඉඳල, ඒ හාමුදුරුවන්ගෙ කීමට තමයි මෙහෙට වැඩල තියෙන්නෙ.හරිම සිල්වත් හාමුදුවො.හැම වෙලාම ඉන්නෙ හිනා වෙලා.මාත් එක්ක ගිය ශේන් මහත්තය හාමුදුරුවන්ගෙ හෙන ගජය.ඉතින් මට බරට උපදෙස් ටිකක් දුන්න.අන්තිමට උන්නාන්සෙට සිටි එකට එන්න ඕනෙ කියල අපි ගිය වාහනේම ආපහු වැඩිය.ඒක ලොකු වාසනාවක්.ප්‍රශ්ණ පත්තරෙකටම උත්තර අහගත්ත එන ගමන්.



"පළතුරු ගහක් හිටවල ඒකට වතුර දාල,පෝර දාල,වල් පැල ගලවල,සත්තුකරල ඒකට හොඳට ඉර එළිය වැටිල එනකොට කාලෙකදි නිකම්ම පළතුරු කඩාගන්න පුලුවන්.හැබැයි ගහ හිටවල පළතුරු නෑ,පළතුරු නෑ කිය කිය හිත හිත හිටියත්,මෙතන හරිනෑ වෙන තැනක හිටවනව කියල   සැ රෙන් සැරේට ගහ ගලව ගලව තැන තැන හිටවන්න ගත්තොත් අන්තිමට වෙන්නෙ ගහ මැරිල යන එක."

මේ මම බාවනාව ගැන අහපු ප්‍රශ්ණේකට උන්නාන්සෙ මට දීපු උත්තරේ.


කොහේ ගියත් කැමරා කට්ට අමතක නොකරන නිසා පින්තූර ටිකක් ගත්ත.ඔන්න එහෙනම්...


මේ ඉන්නෙ පංසලේ ලොකු හාමුදුරුවො  අජාන් කල්‍යානෝ.මේ පින්තූරෙ නම් ගත්ත ගූගල් කරල

 





ඔය යන්නෙ මා එක්ක ගිය සුදු මහත්තය ශේන්









මේ ගමනට මා උනන්දු කළ නන්නාදුනන කලණමිතුරාට මා සිදුකරගත් සියලු පින් අනුමෝදන් වෙවා! මිනූ ඔයාටත්...

Buddha Bodhivana Monastery
780 Woods Point Road
East Warburton, Victoria - 3799
Australia

Jul 27, 2012

මගේ රෝසමල පරවුනා



එදා මෙදා තුර කඳුළට විවරවු
දෑස් පියන් පත් කවුළු වසා
ලයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පිරූ රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදිමැළි පාට පොවා
දෑත ලයේ බැඳි අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා!


මම එනකම් බලන් ඉන්න බෝලේ!

Jul 15, 2012

සදා නොසිඳෙන දහම් ගඟ,බළංගොඩ හාමුදුරුවෝ!



"ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිර යන විට එය වළක්වන්නට වසවර්ති මාර දිව්‍ය පුත්‍රයට උවමනා වුණා.එතුමගේ මේ වැරදි වැඩ පිළිවෙල දෙව්ලොව සිටින මෛත්‍රී බෝධි සත්ත්වයන් වහන්සේ දැනගත්ත.
මේ වැඩ පිළිවෙල වලක්වා බුද්ධ සාසනය ආරක්ෂා කැර ගැනීමට බෝදි සත්ත්ව දෙවියන්ට උවමනා වුණා.එතුමා දේව සභාව කැඳවා සාකච්ජා කළා.ඒ සාකච්ජාවට එන්න කියල මටත් දැනුම් දුන්න.ඒ වන විට මම හිටියේ ඉතා ඈත අහසේ දිලිසෙන පුංචි තරුවක් වගේ දිව්‍යාත්මයක.මම ආවෙ නෑ.දෙවෙනි වරටත් දැනුම් දුන්න.මම ඒත් ආවෙ නෑ.තුවෙනි වරට දැනුම් දුන්නම මම ගියා.
කඳවීමට එක් වරම ආවෙ නැති නිසා මම හිතුවක්කාරයි කියා මෛත්‍රී බෝධි සත්ත්වයන් වහන්සේ මට තරවටු කළා.

වසවර්ති මාරය එක්තරා පිරිසක් මනුස්ස ලෝකෙට යන්න තීරණය කරල තියෙනව,බුද්ධාගමේ හැටියට ම ඒ ස්වරූපයෙන් වෙනත් එකක් පතුරවන්න.අන්න ඒක මර්දනය කරන්න අපිත් කණ්ඩායක් යවන්න ඕන කියා ඒ දේව සභාවෙදි තින්දු කළා.දිව්‍ය ලෝකයෙ සිට බලවත් දේව කණ්ඩායමක් මනුස්ස ලෝකෙට එවන්න තීරණය වුණා.මේ කණ්ඩායම එක්ක මටත් එන්න කීව.මම 'බැහැ 'කීව.'ඒ ඇයි කියා' මෛත්‍රී බෝදි සත්වයන් වහන්සෙ මගෙන් ඇහුවා.
'මම ප්‍රබල නෑ.මට වඩා බලවත් කෙනෙක් යවන්න' කියා මම කීව.
'මොකක්ද නුඹේ ප්‍රාර්ථනය?' කියා එවර මගෙන් ඇහුව
'මට බුදු වෙන්න ඕනෑ' කියා මම කීව.
'ඇයි මම මනුස්ස ලෝකෙට ඇවිත් බුදු වුණාම නුඹට බැරිද මාර්ග ඵල ලබාගන්න' කියා එතුම මගෙන් ඇහුව.
'මට බැහැ.මට වුවමනා ලොව්තුරා බුදු බවට පත්වෙන්න.මමත් කවදා හරි ලොවුතුරා බුදු වෙනව' කියා මම කීව,ලෝක සත්ත්වයාට පිහිට වෙන්න මටත් ඕනෑ යැයි නැවතත් කීව.
ආ...නුඹට ඔච්චර ධෛර්යයක් තියනවා නම් ඇයි උඹ මේ කටයුත්තට නොයන්නෙ කියා මගෙන් ඇහුවා.
මට කට උත්තර නැතිවුණා.
'එහෙනම් මම යන්නම් හැබැයි ඔබ වහන්සෙගෙ පිහිට මට ලැබෙන්න ඕනෑ'.මම කීව.
'ඕනෑ වෙලාවක මා සිහිපත් කරන්න.මම උදව් කරනව' කියා එතුම කීව."

1896 අගෝස්තු මස 23 වෙනි දින රාත්‍රී 12 පසුවී විනාඩි 05 ට බළංගොඩ කිරිඳිගලදී නාරංගොඩ ආරච්චිගේ මෙතියස් හාමි නොහොත් මද්දුම හාමිට හා හීන් මැණිකේට දාව උපන් විලියම් නොහොත් පුංචි මහත්තයා පසුකලකදී ප්‍රකාශ කරන ළද පෙර භවයේ සටහනයි ඒ.

ඒ අන් කිසිවෙකුත් නොව,පසු කලකදී බුරුම රජයෙන් පිරිනමන අභිධජ මහා රට්ඨ ගුරු සංඝරාජ පදවියෙන් හා තවත් බොහෝ ගෞරව  බහුමානයන් ගෙන් පිදුම් ලද,ලක් දෙරණට පසලොස්වක සඳ මඬල මෙන් වූ,අග්ගමහාපණ්ඩිත, අතිපූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රීය මහා නාහිමියන්  ය.

විශ්ව කෝෂයකටත් වඩා වැඩි දැනුමකින් පරිපූර්ණ වූ බළංගොඩ හාමුදුරුවෝ,කිසිදිනපිරිවෙන් අධ්‍යාපනය නොලැබූ කෙනෙකි.උන්වහන්සේ,සිය ගුරු දේවයාණන් වූ දෙණිහේනේ සීලානන්ද නාහිමිටත් එහා ගිය දැනුම් සම්භාරයක් දරා සිටි උතුමෙකි.

විද්‍යොදය විශ්ව විද්‍යාලයේ මහායාන බෞද්ධ අංශයේ පීඨාධිපති ධූරය හා උපකුලපති ධූරයද,දඹදිව ඉසිපතනයේ මූලගන්ධකුටි විහාරාධිපති ධූරයද,උන්වහන්සේ දැරූ තනතුරු අතරින් කිහිපයකි.ඒ අතර උන්වහන්සේ ඉතා නිහතමාණී ලෙස ප්‍රතික්ෂේප කල තනතුරු ඉතා බොහෝය.නාලන්දාවට ඒ නම තැබුවේද,ආදර්ශ පාඨය නිර්මාණය කළේද උන්වහන්සේ විසිණි.

බෞද්ධ ග්‍රන්ථ,භාෂාන්තර භික්ෂක ග්‍රන්ථ,පරිවර්ථන කෘති,ජෝතිෂ ග්‍රන්ථ,වෛද්‍ය ග්‍රන්ථ,ඉංග්‍රීසි බාෂාවෙන් ලියැවුනු ග්‍රන්ථ සහ වෙනත් බොහේ වටිනා ග්‍රන්ථරත්ණයන්  රාශියක් උන්වහන්සේ අතින් ලියැවී ඇත.

මා සතුව ඇති උන්වහන්සේගේ සහ උන්වහන්සේ වෙනුවෙන්
 ලියැවුනු 
වටිනා පොත් කිහිපයක්


ස්වාමි නාරායනාදන්,අරුණාචලයේ රමණ මහර්ෂි වැනි ඉන්දියානු යෝගීන්ගෙන් යෝග බාවනාව පිළිඹඳව පර තෙරටම හදාරා ඇති උන් වහන්සේ,අනගාරික ධර්මපාල තුමා,ඕල්කට් තුමා,ක්‍රිශ්ණමූර්ථි තුමා වැනි බුද්ධාගමේ උන්නතියට කටයුතු කළ බොහෝ ඇසූ පිරූ ඇත්තන් ලඟින් ඇසුරු කළ කෙනෙකි.

බළංගොඩ හාමුදුරුවෝ ඉන්දියාව මෙන්ම ප්‍රංශය,එංගලන්තය,ඇමෙරිකාව,වැනි අබෞද්ධ රටවලට වැඩම කරමින් අප ලොව්තුරා බුදුන්වහන්ස්වගේ ශ්‍රී සත්ධර්මය ව්‍යාප්තියට අනගි මෙහෙයක් ඉටු කළ  පුරෝගාමීන් අතර මුල්තැන ගත් උත්තමයෙකි.

සමථ බාවනාවෙන් පරචිත්ත විචාරණ සහ පුබ්බේනිවාසානුස්මෘති ඥාණය ද,විදර්ශණා බාවනාවෙන් සංකාර උපේක්ඛා ඥාණය දක්වාද සිත දියුණු කරගත් උන්වහ්සේට සෝවාන් වීම මගහැරී ගියේ බුදුවීමට තිබූ ප්‍රාර්ථනය හා අධිෂ්ඨානය නිසා බව මතුගම මහින්ද විජේතිලකගේ බලංගොඩ හාමුදුරුවෝ ග්‍රන්ථයේ සඳහන් වේ.

"මා දන්නව,මට විශ්වාසයි.ඉක්මනින්ම මා පරලොව ගියොත් ඉතාම ශ්‍රද්ධාවත් භක්තිමත් පවුලක දරුවෙකු වෙලා උපදින බව.මේ ආත්මේ කළාට වඩා ශාසනයේ දියුණුවට කටයුතු කිරීමට මට හැකිවෙනවා ඇති.ඒ නිසා මේ දුර්වල ශරීරයකින් යුක්තව තව තවත් ජීවත් වෙන්න මගේ ආශාවක් නෑ.නමුත් වෙන එකක් වෙච්චාවෙ.කොයි දවසෙ මැරුනත් මම  භය නැහැ.මම දන්නව,මීලඟ ආත්මෙයේ ජාතිස්මරණ ඥානයෙන් යුක්ත  වූ පැවිද්දෙක් මහජනයා ඉදිරියට අවුරුදු කිහිපයකින්  එන බව,මගේ ප්‍රාර්ථනය ඒකයි."

සිය චිත්ත ශක්තියෙන් 1983 තිබූ මාරක අපළය මගහැර ගත් උන්වහන්සේ වසර 102 වන තෙක් ලාංකික හා සියලු ලෝක වාසී බෞද්ධයන්ගේ හිතසුව පිනිස ජීවත් ව, 1998 ජුලි මස 18 වෙනිදා සිය කුළුණු බර දෙනෙත් පියා ගත්හ.


උන්වහන්සේගේ ගුණ කදම්බය මෙවැනි කුඩා ජේද කිහිපයකට හකුළුවා ලීම ඉතාමත් අසීරුය.එහෙත්  උතුම් සඟ ගුණයෙන් පරිපූර්ණ  බුදුපුතෙකුගේ වත ගොත මෙසේ සටහන් කරමි.

ප.ලි
චීවරයට මුවාවී සියලුම අවැඩ සිදුකරන,දේශපාලනය කරන,දහස් ගණනට උතුම් සත්ධර්මය විකුණන,පංසල් වෙනුව  සත්මහල් ප්‍රාසාද ඉදි කරන,මිථ්‍යාදෘෂ්ඨීන් පතුරවන,ගෞතම බුද්ධ ශාසනයේ විනාශයට උඩගෙඩි දෙන චීවර ධාරින් මේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේගේ පයට පෑගුන වැලි පිඩකටවත් සමාන කිරීමට නොහැක.

මතු බුද්ධත්වයම පතන ඔබ වැනි බෝදිසත්වයන් වහන්සේ කෙනෙකු පාමුල දොහොත් මුදුන් තැබීමට මා කළ පින් නොසෑහුන බැවින්,බුදුන් වැඩි දේශයෙන්,ධර්මය රැකෙන දේශයෙන්,නිර්මල බුදුදහම මැකී යන්නට ප්‍රථම,ඔබවනසේගේ කරුණා බර දෙනෙත් නැවතන් මගේ ලක්මෑනියගේ තුරුළේ විකසිත වේවා!


මූලාශ්‍ර ග්‍රන්ථ,
මතුගම මහින්ද විජේතිලක:-සසුන'ඹර ගුරු තරුව බළංගොඩ හාමුදුරුවො
සමුද්‍ර වෙත්තසිංහ:-ආනන්ද මෛතීය මහනාහිමිගේ අප්‍රකට ලිපි.

Jul 7, 2012

කම්කරු මගේ, ගෑනි!


"තමුසෙ අද කොහෙද ගියේ?...මොකද මෙච්චර පරක්කු...රිංගුව නේද ගුබ්බෑයමකට..?තමුසෙ නම් මහ කාලකණ්නි මනුස්සයෙක්..."

 රුවන් සහ කාන්චනාගේ විවාහයේ පළමු සංවත්සරය නිමා වූයේ මීට හරියටම සතියකට පෙරය. විදේශ ගත  බොහෝ කාලයක් ගෙවී තිබුනත් ඔහු කරන රැකියාව වෙනස් වී තිබුනේ වත්, සිය බිරිඳගේ මෙවැනි කෑගසීම වල අඩුවක් වත් දක්නට නොලැබින.රෑ දෙගොඩහරියට ගෙදර ගොඩවෙන ඔහු මුලු දවසම ගෙවා දමන සිය ෆැක්ටරි රස්සාවෙන් හෙම්බත් වී සිටියේය.ඒ ඔහු කරන රැකියාවට ඇතිවී තුබූ කලකිරීමට වඩා හැමදාමත් රෑට ඇසෙන සිය බිරිඳගේ කං කරච්චලයට පිළිකුල්  කළ නිසා වෙනි.

"කාචි..මිනිහෙක් වැඩකරල ගෙදර එන්නෙ හොදටම හෙම්බත් වෙලා.ඒ වෙලාවට ඒ මනුස්සය තමන්ගෙ ගෑනිගෙන් බලාපොරොත්තු වෙන්නෙ හිත පිරෙන්න හිනාවකුයි, උණු උණුවෙම තේ කෝප්පෙකුයි.ඒකටත් හරියන්න ඔයා..
මම හැමදාම කියනව විනාඩි පහක් දහයක් පරක්කු උනාම දුම්මල වරම අතට ගන්න එපා කියල.දන්නවනේ දැන් කෝච්චිවල තත්ත්වෙ.හැම දාම මොකක් හරි එකක්."

සතියකට වරක් හෝ දෙවරක් සිදුවෙන දුම්රිය ප්‍රමාදය හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර මෙවැනි කල කෝලාහල සුලබ විය.රුවන් හා කාන්චනා අතර වසර ගනනාවක සිට පැවති ආදර සම්බන්දතාවය අවසාන වූයේ පසුගිය වසරේදී  සිදුවුන විවාහයෙන් පසුවය.කජු කිරි කොල්ලන් කාලයේ සිට කාන්චනාට පෙම් බැඳි රුවන් සිය උසස් පෙළ අවසාන වෙනවාත් සමගම විදෙශ ගතවීමට තීරණය කළේ පවුලේ වැඩිමලා හැටියට ඔහු ඉදිරියේ කර ගැසීමට ඇති බර කන්දරාව හේතුවෙනි.වසර කිහිපයක් බොහේ වෙහෙස මහන්සියෙන් උපයා ගත් සොච්චද අතැතිව රුවන් සිය විවාහ ජීවිතය ආරම්භ කළේ මහමේරුව තරම් වූ බලාපොරොත්තු ගොන්නකුත් සමගය...

"නංගිව කසාද බන්දන්න තියනව...අම්මලට ඉන්න තැනක් නෑ.ඒ දෙන්නට මොකක් හරි පැළක් අටවල දෙන්න ඕනෙ,ඒ මදිවට වෙච්ච ණය කන්දරාව."

මෙවැනි ප්‍රශ්ණ නිතමට ඔහුගේ හිතර වද දුන්නත් ටික කාලයක සිට කාන්චනාගේ මේ වෙස් පෙරලීම නිසා ඔහුගේ බලාපොරොත්තු ඟඟට  කැපූ ඉණි මෙන් නිශ්ඵල විය.
ලොක්කාට නොවඳිනා වැදුම් වැඳ රජකාරී වෙලාව අඩු කරගත් රුවන් වෙනදාටත් වඩා සතුටින් නිවසට ඒමට පිටත් විය.

"අද නම් කනක් ඇහිල ඉන්න පුලුවන්.වෙනද වෙලාවට කලින් ගෙදර යාගත හැකි."

සතු  වැඩිමකට දෝ, වැඩපළ අසලම තිබුනු ග්‍රොසරියෙන් කාන්චනා කැමතිම බාස්කින් රොබින්ස් අයිස් ක්‍රීම් කිහිපයක් ගැනීමටද ඔහු අමතක නොකළේය.

"ආ.....ආවද?වෙලාව කීයද බලනව..දැන් 10.30 යි.තමුසෙ පැය බාගයක් කලින් ඇවිත්.මෙච්චර කාලයක් මම කෑ ගැහුවෙ ඕකට තමයි.තමුසෙ එන ගමන් තවත් කාට හරි සැපක් දීගෙන නේද එන්නෙ.මූසලය! මගෙ ජීවිතේම කෑව.ඒ මදිවට ජරාවත් අරගෙන ඇවිත්.මේව ගෙනාවෙ මාව ශේප් කරගන්න වෙන්න ඇති නේද?කෝ දෙනව ඕක මෙහාට.."

රුවන් නොසිතූ ලෙස කතාව කනපිට හැරුනි.අයිස් ක්‍රීම් පලමකට කාන්චනා දක්වන කුඩා ලෙන්ගතු කමවත් රුවන්ට නොලැබීම ගැන ඔහු බොහෝ සෙයින් පසුතැවිලි විය.එදා රාත්‍රිය ඔහුට බොහෝ දිගු, මූසල රාත්‍රියක් වුනි.
තවත් දවසක් උදාවිය.පුරුදු ලෙසම හිරු නැගෙන්නත් කලියෙන් රැකියා කරා දුවන සුදු මිනිසුන් ගොන්නට, හිත පොඩි පට්ටම් වී  ගිය මේ කලු මිනිසාද එකතු විය.
දිගු රැකියා කාලයකින් පසු වැඩ අහවර වී වෙනදා මෙන් තමන් සමග එකම දුම්රියෙන් යන රුවන් තමා පසුකර ‍යෑම ගැන රුවන්ගේ සගයාට ඇතිවූයේ සැකයකි.

"මචං රුවන්, උඹ ඔය කොහෙද යන්නෙ...අද ගෙදර යන්නෙ නැද්ද?"

"නෑ බං මට පොඩි ගමනක් යන්න තියනව.උඹට අද තනියම තමයි ගෙදර යන්න වෙන්නෙ."
එසේ කී ඔහු ෆැක්ටරිය අසල ඇති තැබෑරුම දෙසට හැරුනි.

Jul 5, 2012

ඇලීෂියා


මගේ අතින් හැදෙන
කෑම පීරිසිත් අරං
හොරාට බැල්මක් දාල
ගිණි කිරිල්ලි වගේ
කුස්සිය දිගේ දුවන
උඹ දකින මට

උතුරු සලුව විසිකරල
උණු තෙල් හැලියට පැනල
චුත වෙන්න හිතෙනව
ඇලීෂියා
!

කුස්සියෙ පොඩි සීන්  එකක්!

Jun 29, 2012

වියපත් බුදුහාමුදුරුවෝ


ජීවිතේ එක වතාවකට හරි පංසලකට ගොඩ නොවිච්ච කෙනෙක් මේ ලිපිය කියවනව ඇති කියල මම හිතන්නෙ නෑ.ඒත්, එහෙම නොගිය කෙනෙක් වුනත්  බුදු පිළිමයක් නොදැක ඇති කියල කියන එක විශ්වාස කරන්න බැරි දෙයක්.ඉඳි පිළිම,හිටි පිළිම,සැතපෙන පිළිම වගේම නොයෙක් මුද්‍රාවලට නෙළල තියන බුදු පිළිම දහස් ගානක් අපි දැකල ඇති. 
පිළිම නෙලීමෙ කලාව ආරම්භ වෙච්ච දවසෙ ඉඳල  කලුගල් එක්ක ඔට්ටු වෙච්ච ඕනෙම ගල් වඩුවෙක්  තමන්ට කරන්න පුලුවන් උපරිමයෙන්,බලන කෙනෙකුට එක හිතින්ම ශ්‍රද්ධාව ඇතිවෙන විදියට තමන්ගෙ නිර්මාණ උපරිම සධාරණය කරන්න ඇති.අවුකන,ගල් විහාරය වගෙ  තැන්වල තියන බුද්ධ ප්‍රතිමා වගේම සමාධි බුදු පිළිමයත් ඒ අයගෙ හැකියාව ගැන සැකයක් නැතිව කියන්න පුලුවන් හොඳ උදාහරණ. 


ඔය අතර හන්දියක් හන්දියක්  ගානෙ ඕනෙවට එපාවට හදල තියන,සමහර විට බුදුහාමුදුරුවොද කියලවත් අඳුර ගන්න බැරි ප්‍රතිමා නැත්තෙම නෑ.අතීතෙ මිනිස්සු හරිම යටහත් පහත්ව,බොහොම ශ්‍රද්ධාවෙන් කරපු මේ රාජකාරිය අද වෙනකොට මුදල් හම්බ කරන්න කරන රැකියාව වෙලා.ඒක නිසාම බුද්ධ ප්‍රතිමාවකට තිබුන ගෞරවය අද වෙනකොට බොහෝ දුරට නැතිවෙලා ගිහින් කියන එකයි මට තියන හැගීම.නැත්නම් ගෙදර ගාර්ඩන් එකෙටයි,ක්ලබ් වලටයි,සෙරෙප්පුවලටයි,ටී ශර්ට් වලටය,ඔය එකී මෙකී නොකී හැමතැනටමයි අන්තිමට වැල චිත්‍රපටිවලටයි අපි දොහොත් මුදුන් දීල සාදු කියල බුදු පිළිමය යොදාගන්න එකක් නෑ.


පිළිම ගැන මෙහෙම හැදින්වීක් කලාට අද කියන්න යන කතාව වෙනම එකක්.
මම හිතන විදිය අපි කවුරුත් බුදුහාමුදුරුවො පිරිනිවන් පාන අවස්ථාව නිරූපණය වෙන ප්‍රතිමා ඉහේ කෙස් ගානට දැකල ඇති.


"ආනන්ද,මම දැන් ජරාවට පත්වූවෙමි,වෘද්ධයෙමි,මහලු වූයෙමි,කල්ගත වූයෙමි,වයස් ගතවූයෙමි.මම දැන් අසූ වයස් ඇත්තෙමි.ආනන්ද,දිරාපත් වූ කරත්තයක් පිළියම් කිරීමෙක් පවතින්නක් මෙන් තථාගත ශරීරයත් පිළියමින් පවතී කියා මට හැඟෙයි.ආනන්ද,යම් අවස්තාවක තථාගතයෝ සියලු නිමිති නොමෙනෙහි කිරීමෙන් සමහර වේදනා මැඩලීමෙන් නිමිති රහිත  චේතෝවිමුක්තිය ලබා වාසය කරත් නම් ඒ අවස්ථාවේ තථාගත ශරීරය බෙගෙවින් පහසු වෙයි."
බුදුහාමුදුවො පිරිනිවන් පාන්න කුසිනාරාවට වඩින ගමනෙදි ආනන්ද හාමුදුරුවොත් අතර ඇතිවෙච්ච මේ සංවාදය තියෙන්න දීඝ නිකායෙ මාහා වග්ගයෙ මහා පරිනිබ්බාන සූත්‍රයෙ.


පන්සාලිස් වසරක්ම මිනිස්සුට නිවන් අවබෝධ කරන්න මුලු බාරතය පුරාම යොදුන් දහස් ගනන් පයින් වැඩම කරපු අපේ ගෞතම බුදු හාමුදුරුවො,අපි පිළිම වලින් දකින දේට වඩා බොහොම වෙනස් කෙනෙක් වෙන්න ඇති කියන එක තමයි මට තියන හැගීම.
ඒක ඔප්පු කරන්න මට සාදක නැති වුනත් මැත කාලෙ මුළු ලෝකෙටම සඳ මඬල වගේ හිටිය උතුම් බුද්ධපුත්‍රයෙක් වෙච්ච අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නායක හාමුදුරුවො දිහා බලන කෙනෙකුට ඒක එහෙම නොවෙයි කියල හිතන්න බෑ.උන් වහන්සේ ජීවිතේ අන්තිම කාලෙ බොහොම වයෝවෘද වුනත්, තමන්ගෙ හිතේ ශක්තියෙන් ටික කාලයක් ජීවත් වුන හැටිත්,උන් වහන්සෙගේ  වයස්ගත් වෙච්ච ශරීරෙට වඩා උන්වහන්සෙගෙ හිත කොච්චර ශක්තිමත් ද කියන එක උපමාවට ගත්තොත් පිරිනිවන් පාන අවදියෙදි අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශරීර ස්වාභාවය ගැන පුන්චි ඉඟිය ගන්න පුලුවන් වෙනව.
අති පූජ්‍ය් අබලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නාහිමි

මම ලිපිය ඉවර කරන්නෙ පොඩි වචන ටිකකින් 


"එගොඩහ යන්නෝ...
මෙගොඩහ යන්නෝ...
තව කව්රුද ඉන්නේ...
පමා නොවන්නේ අඳුර වැටෙන්නේ .. යනවානම් එන්නේ…
මම මේ ගඟුලේ.. අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා…


ගඟුල අනෝමයි අද මට වෙහෙසයි.. යනවානම් එන්නේ…
මම මේ ගඟුලේ.. අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා..."


ඩෝල්ටන් අල්විස් මහත්තයගෙ  පද රචනාවකට විශාරද ශෙල්ටන් පෙරේරා  ගායකය සංගීතය කරල ගායන කරපු, පසු කාලෙකදි සිය පුත්‍ර රත්නය විසින් සන්ෆලවර්ස් බිස්කට් කුඩු සංගීතයට ගායන කරපු මේ සින්දුවේ තේරුම, පිරිනිවන් පාන්න කිට්ටු වෙලා වියපත්ව ඉන්න අපේ බුදුපියානන් වහසෙගෙ හිතේ ඇතිවෙච්ච හැඟීමක්.


නිමි!

පමා නොවන්නේ අඳුර වැටෙන්නේ .. යනවානම් එන්නේ…
සියලු දෙනාම උතුම් ධර්මාවබෝදයෙන් නිවනිම සැනසේවා.



Jun 15, 2012

කුස්සියේ කුණු ඇළ!

ගොඩ කාලෙකින් කුස්සියේ කතාවක් ලියන්න බැරිවුනා.ඒ උගුරුදංඩටම හිරවෙන්න වැඩ වැටුන නිසා මිසක් කියන්න කතා නැති කමට නෙමේ.පහුගිය මාස එකහමාර කියන්නේ අපේ කුස්සිය උඩු යටිකුරු කරපු කාලයක්.ඒ මොකද කියනව නම්, මා එක්ක වැඩකරපු  සෙට් එකෙන් බගෙකටත් වඩා කුස්සියට සමු දීල යන්න ගියා.හාහා පුරා කියල යන්න ගියේ  මගෙ සහෝදරය වගේ හිටපු සිගා,ඌ නෑ කියන්නේ කුස්සිය නිකන් සොහොන් පිට්ටනිය වගේ තමයි.සිගා යන්න ගිහින් සති දෙක යනකොට අපේ ලොක්ක මැනේජර් එක්ක ගේමක් දාගෙන යන්න හදනව.ඉතින් ලොක්කත් එක්කම තව දෙන්නෙක් යන්න ගියා.අලුත් ලොක්කෙක් එන්න සති දෙක තුනක් ගත වෙන නිසා මටත් තව උයන්නො දෙන්නෙකුටත් මුලු කුසුස්සියේම ව්ගකීම් ටික පැවරුනා.

අද කියන්න යන කතාව මීට සම්බන්ද නොවුනත් මේ උඩ ලියපු චරිත ඒ කතාවෙ නිධාන කතාවට සම්බන්දයි.
 ඒක මෙන්න මෙහෙමයි වුනේ...
මීට ටික කාලෙකට කලියෙන් අලුතින් ආපු වලං හෝදන්නෙක්(කිචන් හෑන්ඩ්)අතින් ඉදුල් හෙදන සින්ක් එකේ පතුලෙ හයිකරල තියන කුණු පෙරිල යන ප්ලාස්ටික් පොඩි ගැජට් එක නැතිඋනා .


වගකීම හැටියට මේ පිලිඹඳව ලොක්කන්ට දන්වන එක අපේ රාජ කාරිය.හැබැයි ඒ කිසිම දෙකට හරි උත්තරයක් ලැබුනෙ නැති නිසා,ඔය කැල්ල මොන කජ්ජක්ද කියල හිතාගෙන අපිත් සින්ක් එක දිගටම පාවිච්චි කරා.මේ ප්‍රශ්නෙට පිළිතුරු නොලැබෙන්න එක හේතුවක් උනේ අපේ ලොක්ක මයිකලුත්,මැනෙජර් බඩා මැටුත් අතර තිබුන ගේම.කොහොමත් මැනේජරය මෙලෝ මළ දානයක් කරපු එකෙක් නෙම.එනව,ඇවිදිනව,කනව,යනව.අපේ ලොක්කත් යන්න ඔන්න මෙන්න ඉන්න නිසා කුස්සියේ වෙන අඩු පාඩු ගැන හොයල බලන්න එච්චරම උනන්දුවක් පෙන්නුවෙ නෑ.


මීට සති දෙකකට කලින්, ඉරිද දවසක,අලුතින් ආපු ලොක්ක වැඩ පටන් අරගෙන ගෙවිච්ච දෙවැනි දවස.හවස දෙක  විතර වෙනකොට කුනු හෝදන සින්ක් එක පහලින් පොඩියට දිය උල්පතක් මතු වෙන්න ගත්ත.සාමන්‍යයෙක් ඒවගේ දෙයක් එච්චර ගනන් ගන්නෙ නැති අපි වෙනද විදියට පිස්සුවෙන් වගේ වැඩ.ටික වෙලාවකින් කිචක් හෑන්ඩ් එක ගහන අපේ අජිත් අයිය දුවගෙන ඇවිත කියපි..

කස්ස මල්ලි!.. මෙන්න මෙහෙ උතුරනව.....


මමත් සියලු වැඩ පැත්තකට තියල ගිහින් ඔලුව දාල බැලුව.
අම්ම හගයි බැට් එකෙන්.
කුස්සියේ වතුර බහින්න පොළවෙ හදන තියන හිල් වලින වතුර උඩ ගහන්ව නිකන් ලබුගම වතුර බටේ හිල් වෙලා වගේ.වතුර නම් ඉවසුවැහැකි ඒ වගේද ගඳ!

විනාඩිය යනකොට මාහා ජල කඳක් මුලු කුස්සියම යට කරගෙන ගියා.අපිත් ඉතින් ඉවිල්ල පැත්තකට දාල උදලු, මන්න, කඩු, පොලු අරගෙන වැතුර අයින් කරන වැඩේට බැස්ස.
කුණු වෙච්ච කෑම කෑලීයි,නහය තියාගෙන ඉන්න බැරි පල් වතුරයි එක්ක තමයි මගෙ මුලු ඉරිද දවසම ගෙවිල ගියේ.මැනේජර් ලොක්කට කිවුවම ඌ නිකන් ඇවිත් බලල යන්න ගියා,රෑට වැඩකරන අර ලෙස්බියන් මැනේජර් ඇන්ටි පාර ඇවිත තමයි ප්ලම්බර් මාම කෙනෙක් ගෙනත් වැඩේ ගොඩ දාල දුන්නේ.

ලංකාවෙ අපේ කොල්ලන්ට පල් වතුර ,කුණු වතුවර කියන ඒව ගේමක් නෑ.ඒත් ඉතින් අර අලුත් ලොක්කට දෙයියන්ගේම පිහිටයි.
හිතල රැග් එක දුන්න වගේ.

May 31, 2012

මෙල්බන් සක්විති :- අවසාන කොටස


රැවටීම කියන එක ජීවිතේ පළමු වතාවට ලබපු අත්දැකීම නොවන නිසාත්,කටු කෑම උපරිම ලෙස විඳ ඇති නිසාත් එක්සෑම් එක අවුල් වෙච්ච එක මට ලොකුවට දැනුනෙ නෑ.හැබැයි මම මේ ගැන මේ මනුස්සය එක්ක කතා කරන්න ගියෙත් නෑ.මොකද ඒ වෙනකොට ඔහු හිටියේ ලංකාවෙ නිසා.


"මචන් අරූ ආපහු මෙල්බන් ඇවිත්ලු .."


වටින් ගොඩින් ආරංචිය ආව මේ මනුස්සය ආපහු ඇවිත් බව.කතා කරන්න කිහිප සැරයක් උත්සහ කලත් මෙයා අපිව ටිකක් මගාරින විදියක් තමා පෙනුනෙ.ඒත් එක දවසක් තුශාර මට කතා කලා..


"මල්ලි එක්සැම් එක අවුල් උනාලු නේද?කමක් නෑ. තව පාරක් ට්‍රයි කරල බලන්න.හැබැයි රීකරෙක්ශන් දාන්න එපා වැඩක් වෙන්නෙ නෑ.."


හැබැයි ඒ වෙනකොටත් මමයි, අර මා එක්කම එක සමාන වෙන්න ලකුණු ගත්ත කෙනයි ඒ වැඩේ කරල ඉවරයි.
මේ අතරෙ, මගෙ හොඳම යාලුවො දෙන්නෙක් ගෙ ප්‍රතිඵලත් ආව.ඒ අතරින් එක්කෙනෙක් ගොඩක් හොඳට එක්සෑම් එක කරපු කෙනෙක් ,එයාට ඇවිත් තිබුනෙ අර ක්ලාස් එකේ කරල ගිය පේපර් එකමයි.අනිත් කෙනාට ඇවිත් තිබුනෙ වෙනම අලුත් එකක්.ඌ පේපර් එක ලියපු දවසෙම කිවුවෙ," වැඩක් නෑ මචන්  අමාරුයි ගෙඩක්,කෙල වෙලා ඇති ඉස්තීරෙටම "
කියල.මේ කතාව තුශාරටත් කියල තිබුන.

පුරුදු විදියටම සති දෙක යනකොට මෙයා පේපර් බැලුව කියල මගෙ යාලුවට කෝල් එකක් දීල තිබුන..


"මල්ලි උඹව නම් ගොඩ දාන්න අමාරුයි...අනිත් එක්කෙනා නම් හොඳටම කරල තිබුන.උඹට තිබුනෙ ලකුණු 60යි,මම අමාරුවෙන්  ටිකක් වැඩි කරල යවුව,දැන් ඉතින් වැඩේ තියෙන්නේ දෙවෙනියට පේපර් එක බලන කෙනාගෙ අතේ තමයි."


ප්‍රතිඵල ඇවිත් තිබුන,ලකුණු 60 කියපු මගෙ යාලුවට මුලු ක්ලාස් එකෙන්ම වැඩිම ලකුණු, 86 ක්.අනිත් කෙනත් පාස් වෙලා තිබුන.
හැබැයි මේයා මේ පේපර් බැලුව කියල ලකුණු ගනන් කියල තිබුනෙ එක එක කෙනා පේපර් එක ඉවර වෙලා එයාට දෙන ප්‍රතිචර එක්ක.අමාරුයි කිවුවොත් "මල්ලි ඔයාට ලකිණු 60 විතර තිබුනෙ",වැඩේ ගොඩ කිවුවොත් "ඔන්න උඹ පාස් ලකුණු 80යි"!
වෙනදට පාටියකට නැතුවම බැරි වුන අපි නැතුව මේයා පාටි දැම්ම.හරියටම කියනව නම් ෆේල් වුන අය නොසලකා හැරිය වගේ.ඔය අතරෙ මගෙ පේපර් එකට වුන දේත් ආරංචි වුනා.මගෙත් ,අර මාත් එක්ක හවස එක්සෑම් එක ලියපු කෙනාගෙත් පරිවර්ථන වල ගොඩක් සමාන කම් තිබුන නිසා අපි දෙන්නම කොපි කරා කියන පදනම යටතේ එක්සෑම් එක අසමත්.
මාසයක් ගියා,දෙකක් ගියා.තුශාර ගැන එන ආරංචි සහ  එක්සෑම් එක ඇන ගත්තු අයගෙ ආරංචිත් එන්න එන්නම නරක අතට හැරුන.
හැබැයි පහුගියා කාලෙමෙ මේ මනුස්සය අර ලකුණු 86  අරගෙන ඉහලින්ම පාස් වුන මගෙ යාලුවට නිතරම කරදර කරන්න ගත්ත.මොකද මගෙ යාලුව ඌට තව $250 දෙන්න තිබුන..


"මචන් උඹ සල්ලි දෙනවද?"


"දෙනව හැබැයි මම ඕකව හම්බවෙලා දෙකක් කියල තමයි ඔය සල්ලි දෙන්න.."


තුශාර මේ සල්ලි ඉල්ලගෙන අඬ අඬ එවන කෙටි පනිවිඩ වලින් මගෙ යාලුවට අඩුවක් තිබුනෙ නෑ.
හරියටම ගිය මාසෙ.අපි හතර දෙනෙක් පන්සල් ගියා.මගෙ යාලුවගෙ තාත්තට අසනීප වෙලා ඉතින් අපි ගියා බෝදිපූජාවට.ඒකත් ඉවරවෙල ගෙදර එනකොට මගෙ අයලුවට ඒ වෙලාවෙම ආපු කෙටි  පනිවිඩයක් මට පෙන්නුව.


ඒකෙ එවල තිබුනෙ තුශාර,අඬල වගේ සල්ලි ඉල්ලල.
ඒ වෙලාවෙ යාලුව මගෙන් අහනව 


"කස්ස,මූ හෙට අනිද්දම ආපහු ලංකාවට යන සීන් එකක් තියනව.වැඩේ පත්තුවෙලා යනවද දන්නේ නෑ. මොකද කියන්නෙ යමුද පොරව බැහැදැකල එන්න?"


"ආයි මොනවද හරවපන් වාහනේ.."
මමත් එක පයින්ම කැමැත්ත දුන්න.


ඔන්න අපි සෙට් එකම ගියා මනුස්සය බලන්න.හැබැයි යන්න කලින් කෙටි පනිවිඩයක් යැවුව,අපි එනව සල්ලිත් අරගෙන ගෙදර ඉන්න කියල.


කඳු තියන පලාතක ජීවත් වෙච්ච මේ මනුස්සයගෙ ගෙදරට අපි ගියා,කොල්ලො හතර දෙනයි එක කෙල්ලයි.කෙල්ලව වාහනෙ දාල අපි ගියා ගෙදරට,තට්ටු කලා දොරට.


ඒ අතරෙ අපිට ජනේල අස්සෙන් පේනව ගේ ඔක්කොම අස් කරල,බඩු ගොඩ ගහල පැත්තක.ඔන්න ඉස්සරහ දැල් දොර ලඟට කෙනෙක් ආව.


"කවුද ඔයාල?"


"ආ අපි එම තුශාර අයියගෙ ස්ටුඩන්ට්ල.."


"ආ ඔයාලද අර සල්ලි දෙන්න ආවෙ"


"ඔවු ඒ අපි තමයි.."


ඒ තුශාරගෙ අක්ක කියල කියපු කෙනා.


"ආ පොඩ්ඩක් ඉන්න..."


අපි සෙට්ට එක එලියට වෙල බලාගෙන ඉන්නව..


"තුශාර බාත් රූම් එකේ. එන්න ටික්ක වෙලා යයි.මට සල්ලි ඉල්ලගන්න කිවුව."


"ආ ඒකට කමක් නෑ අපිට එයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ.අපි එලියට වෙලා ඉන්නම්."


මාස තුනකට වැඩිය රින්ගපු ගෙදර,පාටි වලට, අරකට,මේකට ගිය ගෙදර ඇතුලට මුන් අපිට එන්න කිවුවෙ නෑ.
ඔන්න දැන් අපි ඉන්නව බලාගෙන.ඒත් එන පාටක් නෑ.ගෙදර ලයිට් නිවෙන්න ගත්ත.ටික වෙලාවකින් තුශාර දෙනව අපිට කෝල් එකක්.


"මට පහලට එන්න බැ.සල්ලි ඔතනින් තියල යන්න."


අපිට තේරුනා හොර වැඩ මාට්ටු වෙලා මූන දෙන්න බැරුව තමා මෙහෙම කියන්නෙ කියන එක.
පන්සිල් පද පහ කියල පැයක් වත් ගත වෙච්ච නැති අපේ ලේ රත් වෙන්න ගියේ ටික වෙලාවයි.එකෙක් ගැහුව දොරට පයින්...
අක්ක ආව දොට ලඟට..


"#$%#&(&*)"
"#$%#&(&*)#$%#&(&*)#$%#&(&*)"
"#$%#&(&*)"


හිතා ගන්නකො ..මාරුවෙන් මාරුවට බැන්න බැනිල්ලක් රෙදි ගැලවිලා යන්න.පැය බාගයක් විතර ,කියන්න ඕනෙ සියලුම දේ, සුද්ද සිංහලෙන් අක්කට කියල දුන්න.ඔය පැය බාගෙටම මේ කම්බ හොරා පහලට ආවෙ නෑ.ගෑනියෙක් වගේ ගේ ඇතුලේ.
මාස ගානක තිබුන කේන්තිය අපි එදා පිට කරගත්ත..


ඔන්න ඔහොමයි කතාව ඉවර වුනේ..


මේ සිද්ධිය ඇතිවෙන්න කලිනුත් මෙයා ගේ අස්සටම වෙලා හිටිය බවත්,මේයා ගැන වැරදි කියපු බෙහෝ අයට ආපහු පන්තියට එන්න එපා කියල එලව ගත්ත බවත්,අන්තිම වෙනකොට එක ස්ටුඩන්ට් කෙනෙක් වත් පන්තියට සහභාගී නොවූ බවත්  ආරංචි වුනා.
මෝගේජ් ගෙවපු ගේත් අස්කරල ලංකාවට ගියේ ආපහු නො එන්නදෝ කියල් මට හිතුන වාර අනන්තයි.ඒකට හේතුවක් තිබුන.මම දන්න විදියට මේයාගෙන් ළමයි 60 ආසන්න ප්‍රමණයක් ඉගෙන ගත්ත. ඒ හැම කෙනාගෙන්ම අඩුම තරමෙ $2000 වත් ගන්න ඇති.මේක කියවන බොහෝ අය සාමාන්‍ය පෙළ ගණිතය සමත් ඇතී කියල හිතන නිසා වැඩිකරල බලන්න...(60*2000*120)=Rs.....



මුල් කොටස් බලන්න මෙතනින්..
එක   දෙක   තුන



ප.ලි
මම මේ කියන මනුස්සයගෙන් ඉගෙන ගත්ත දේවල් තිබුන.ඒ ගැන අවිවාදයක් නෑ,හැබැයි ඔහු කියපු විදියට අරිසෙන් අහුබුදු ගෙන් සිංහල ඉගෙන ගත්තු තරමට දැනුමක් ඔහු තුලින් අපිට පෙනුනෙ නෑ.සහේදරයෙකුට වගේ සලකපු අපි බෙහේ දෙනෙකුගේ වැසිකිළි හේදීමෙන්,කුණු ඇදීමෙන්,ඉඳුල් සේදීමෙන් අමාරුවෙන් උපයාගත් මුදල් බොහෝ අසාධාරණ ලෙස බොරු කීමෙන් ගසාකෑම නිසා ඒ හැම දෙනා වෙනුවෙන් මේ ලිපිය ලීවෙමි.


(මගේ රී කරෙක්ශන් එක හරි ගියෙත් නෑ.හැබැයි ලබන මාසෙ මම ආපහු ඒ එක්සෑම් එකට වාඩි වෙනව.)

May 30, 2012

මෙල්බන් සක්විති තුන්වෙනි කොටස


මහන්සිවෙලා වැඩ කරපු නිසත්, අම්බානක වියදම් කරල ඉගෙන ගත්තු නිසත් එක්සැම්  එකට වාඩිවෙන්න කිසිම බයක් තිබුනෙ නෑ.හැබැයි පේපර් එක අතට ආවට පස්සෙ මට හිනා ගියා.ඒ මොකද කියනව නම් හා හා පුරා කියල මේ මනුස්සයත් එක්ක පරිවර්ථනය කරපු, අර හොරෙන් ගත්තු පිතුර වල තිබුන පේපර් එකම මගෙ අතේ.ඉතින් මේ ගැන මොකට කතා කරනවද.

ගේමක් නැතුව  පැය තුනේ එක්සැම් එක වෙලාවටත් කලින් ඉවර කරල එලියට ආව.ඒ එනකොට මා එක්කම පන්ති ගිය තව කොල්ලෙක් හවස එක්සැම් එක ලියන්න ඇවිත්.


"මචන් ක්ලාස් එකේ  වගේම පේපර් එකක් ආවෙ.බයවෙන්න දෙයක් නෑ"


මම කියන්න ගියේ නෑ ඒ පේපර් එකම ආව කියල.මොක්ද තුශාර කියල තිබුන කාටවත් කියන්න ඒපා කියල..
එලියට බැස්ස ගමන් මම තුශාරට කෝල් කලා..


"අයියේ, කරපු පේපර් එකමයි ඇවිත් තිබුනේ.ඇස් පියාගෙන ලියල ආව..
"ඒකනෙ මල්ලි ..මම තමා ඔය පේපර් එක දාන්න කිවුවෙ.මොකද ඔයා එක්සෑම් එක කරන නිසා"

සතියක් ගියා, දෙකක් ගියා.අපි ඉතින් මේයාගෙ පාටිවලටයි, දුකටයි සතුටටයි නැතුවම බැරි චරිත වුනා.
ඔනන් ඉතින් මේයා මට දවසක් කතාකරල කියනව..


"සුභ ආරන්චියක් කියන්න කතා කෙළේ,මල්ලි උඹ එක්සෑම් එක පාස්,හොඳටම කරල තිබුන,
ලකුණු 86 තියනව. මමයි පේපර් එක බැලුවෙ."
මටත් සතුටුයි.
ඉතින් මෙයා මේ කතාව ක්ලාස් එකෙත් හැමෝටම කියල තිබුන.
එක්සෑම් එක ඉවර වෙලා මාසයක් විතර යනකොට මුලින්ම එක්සෑම්  කරපු අයගෙ ප්‍රතිඵල එන්න ගත්ත.හැබැයි ප්‍රතිඵල ආවම තමයි කට්ටියට තරු විසි වෙන්න ගත්තේ.එක්සෑම් එකට වාඩිවුන ගොඩ දෙනෙකුට පාස් වෙන්න වුවමනා කරල තිබුන ලකුණු 70 සීමාවට එන්න පුලුවන් වෙලා තිබුනෙ නෑ.ඉදල හිටල හරි පාස් වුන කෙනෙක් හිටියනම් එයාටත් ලැබිල තිබුන ලකුණු වලයි මෙයා කියපු ලකුණු වලයි බොහොම වෙනස් කම් තිබුන.

හරියටම ගිය දෙසැම්බර් මාසෙ.මම ගොල්ඩ්කෝස්ට් ගිහින් ආවට පස්සෙ දවසෙ.උදේ වැඩට යන්න එලියට බැස්ස ගමන් කෝල් එකක් ආව.


"මචන් මම ෆේල් වෙලා.ලකුණු 48,කවදාවත් වෙන්න බැරි වැඩක්.උඹට කොහොමද?"


මේ කතා කළේ අර මාත් එක්කම හවස එක්සැම් එක කරපු කෙනා.
ඒ වෙනකොටත් මගෙ අතේ  ප්‍රතිඵල එවල තිබුන ලියුම් කවරෙ.වැඩට යන ගමන්ම ලියුම කඩල බැලුව.
ඔය වෙලා තියෙන්න...
මාස හතරක විතර මහන්සියයි ඩොලර් හාරදහකට කිට්ටුවෙන්න සල්ලියි ඔක්කොම වතුරෙ
මටත් ලකුණු 48..
ඒ වෙනකොටත් තුශාර හිටියෙ ලංකවට ගිහින්.මේ කතාව මාත් එක්කම ක්ලාස් ගිය උන්ට කිවුවම උන්ටත් හිතා ගන්න බැරිවුනා.


"ආ තුශාරද? ඌ හොරෙක් නෙ බං"


කතා කරපු බොහෝ අයගෙන් ලැබුන ප්‍රතිචාරය වුනේ ඒක..ඒ වෙනකොට අපි දැනගෙන හිටිය අපි හොරෙකුට අහු වෙලා බව.ඒත් ඒක ඉස්තීරෙටම ඔප්පු කරන්න සාදක අපි ලඟ තිබුනෙ නෑ..


අන්තිම කොටස ඊලගට... 

අවසාන කොටස

May 26, 2012

පරණ කවියක්




හංගා ගෙන දුක නුඹ දුර යන විටදී
නම්මා ගෙන සිත නොපෙනෙන ලෙස පිටදී
නිම්මා නැති සෙනෙහෙ දිය මත හබළ රැදී
ඉන්නා ලෙසට ඔරු කඳ දිය මත නොසිඳී

ඉන්නා බැරිව පාලුව තනිකම ඉපදී
කන්න ගන්න බත සිරවිය නුඹව ඇඳී
සින්නා වුවත් රතු රුදිරය පිටට දිදී
ඉන්න රිසිය හෙට නුඹ සුවවන විටදී

බැන්නා වුවත් ඉඳ හිට මට අමතනදී
අම්ම තරම් ආලය දෙන විට නොසිඳී
පන්නා පසු පසම නුඹ වෙනුවෙන් ඉපදී
සිම්බා නළල මතු බවයෙත් නුඹව මදී


ගොඩාක් ඉස්සර ලියපු වචන ටිකක්,කාලෙත් එක්ක හැම දේම වෙනස් වුනත් මේ වචන ටික කියවගෙන යනකොට  ඇතිවෙන හැගීමට මම තාම ආදරේ නිසා පෝස්ට් කරන්න හිතුන.

May 14, 2012

ඇසූ පිරූ ඇත්තාගේ නිකම යෑම


මුහුදින් එහා ජීවත් වෙලා වෙසක් දවසට ලංකාවට පය ගහන්න  ලැබෙන එකත්, ඒකෙන් ඇතිවෙන සතුටත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.ඒ විතරක් ද,කමෙන් වලින් විතරක් හිතවත් වුන බ්ලොග් සහෝදරයො ගොඩ දෙනෙක්වම හැබැහින්ම බලාගෙන විනෝද  වෙච්චි එක..
ඉතින් ඔබා මාම යන ගමන නොකියම ගියාත් යන තැනට සතුටින් යන්න ඇති.

"වැඩ ඇරිල ආව විතරයි...දැක්කෙ  මේක....තාත්ත කෙනෙක් වගේ හිටපු හෙඩ් චෙෆායි...සහෝදරයො වගේ හිටපු තව හිතවතුන් දෙන්නෙකුයි කුස්සිය දාල ගියා අද..රෑ වෙනකොට ඔබා මාමත් යන්න ගිහින්.හැම දාටම..ජීවිතෙන් බාගයක්ම පාලු වුනා වගේ.."
 


ඔබා මාමෙ!  මේ සංසාරේ අපිට ආපහු හමු නොවෙන්න නිවන් දකින්න!



May 2, 2012

මෙල්බන් සක්විති දෙවැනි කොටස

ඩොලර් 120ක් !,සතියකට එච්චර ලොකු ගානක් දෙනව කියන්නෙ ගොඩක් අමාරු වැඩක්,ගෙවල් කුලී,කෑම බීම,ගමන් ගාස්තු එකතු උනාම අතේ සත පහක් ඉතුරු වෙන්නෙ නෑ.සමහර දවස් වලට රිම් එකේ,කන්නවත් සල්ලි නෑ.ඒත් ඉතින් වැඩේ ගොඩ දාගන්න තිබුන ඕනේ කම නිසාම කොහොම හරි ගේම ගෙනියන්න වුනා.

මේ අතරේ මම දන්න කියන මගේ යාලුවො කිහිප දෙනෙකුත් මේ මනුස්සයට අඳුන්වල දුන්න.දැන් ඒ අයත් පන්තියට එන්න ගත්ත,ගොඩක් දවස් වලට පැය තුනක් විතර වාඩි වෙලා හිටියත් අපි කරගෙන ආපු දේවල් බලන්නේ පැය බාගයක් විතර,මොකද කියනවනම් ඒ තරමට ළමයි ඉන්නව.කොහොමත් එක පන්තියකට පස් හය දෙනෙක් අනිවාර්යයයි.බොහෝ විට සතියේ දවස් හතෙන් එක දවසක් ඇරෙන්න අනිත් දවස් හැම එකකම මේ මනුස්සය පන්ති කරනව,උදේට වගේම ගොඩක් දවස් වලට රෑටත්.


මාසයක්,එකහමාරක් යනකොට තුශාර අපිත් එක්ක ගොඩක් සුහද උනා.එක දවසක මම වැඩ කරන අතරේ කෝල් එකක් එනව මේ මනුස්සයගෙන්.කුස්සියේ කැම එක්ක  ඔට්ටු වෙනකොට මම මගේ මවු තුමිය හැරෙන්නට වෙන කාගෙන් කෝල් එකක් ආවත් ආන්සර් කරන්නෙ නෑ.වැඩ ඉවර වෙලා නිවාඩු පාඩුවේ ආපහු කතා කලා...

"මල්ලි මට පොඩි උදවුවක් ඔනේ.."


"කියන්න තුශාර අයියේ...ඔයාට කරන්නේ නැති දෙයක් මා ගාව නෑ නෙ."


"අපේ අක්කගෙ උපන්දිනේ මේ සෙනසුරාද,බැරිවෙයිද සිගාල එක්ක අවිත් පොඩි සින්දුවක් දෙකක් කියන යන්න."

සිගා කියන්නෙ මගේ බොක්කෙ ෆිට් එක්ක.උන් දෙන්න නිවුන්නු,සංගීතෙත් එක්ක ඉපදිච්ච් වුන් දෙන්නෙක්.
මම මෙහේ ආපු දවසෙ ඉදල මට ගොඩක් උදවු කරපු එකෙක් තම පොඩි සිගා.හරියට කිවුවොත් මගෙ සහෝදරය වගේ.අපි එකට බෑන්ඩ් ගහපු කට්ටිය.මම බොහේ විට මගෙ සංගීත ගුරු තනතුරේ තියන්නෙ උන් දෙන්නව.

"මට නම් එදාට වැඩ..ඒත් මම අරුන් දෙන්නව සෙට් කරන්නම්,වැඩ ඉවර වෙලා තමා මට එන්න වෙන්න.."

 
ඔහොම මෙහෙම මෙයගේ ගොඩක් වැඩ වලට අපිව නැතුවම බැරි චරිතයක් වුනා.

ඔන්න දැන් මාස තුනත් පැන්න,අපිට එක්සෑම් එක බුක්  කරන්න කියන්නේත් මේයාම තමයි.එයාට සැටිස් වෙන්න ඔනේ අපිව,හරියටම වැඩ පුලුවන්ද කියල හිතුනම් තමයි කියන්නෙ හා දැන් ගිහින් එක්සෑම් බුක් කරන්න කියල.

දවසක් හදිස්සියේම කර කර හිටපු පංතිය අතර මගදි නතර කලා.ඒ එයාට ආපු  sms එකක් නිසා.අනිත් අයට යන්න කියන ගමන් මට කියනව


"මල්ලිට පරක්කු නෑනෙ ,ටිකක් වෙලා කයියක් දාගෙන ඉදල ප්ලේන්ටියක් එහෙම ගහල යමු,මම ගිහින් බස්සනම්."


ගෙදර වැඩකුත් නැති නිසා මමත් හා කිවුව..

කට්ටිය ගියා විතරයි,මෙන්න මේ යකා ම්ට කියන්ව,

"මල්ලි අද එක්කෙනෙක් එක්සැම් ලියනව, මනුස්සය හිර වෙලා,මට මුලු පේපර් එකම පින්තූර අරගෙන txt කලා,අපි සෙට් වෙලා මේක කරල යවමු.


මාව උඩ ගියා,ඒත් පේපර් එක ආපු එකට පුංචි සතුටකුත් හිතට ආවෙ නැත්තෙමත් නෑ,
මේ මනුස්සයගෙ ටෙක්නොලොජිය බ්ංදුවයි.ඉතින් ඒක ලප් එකට අරගෙන ප්‍රින්ට් කරල අපි දෙන්න බාගෙ බාගෙ බෙදාගෙන කලා,කරල ආපහු පිතූර අරගෙන අර කොල්ලට යැවුව,
මේ හොර වැඩේ උනාට පස්සෙ මනුස්සය මට කියනව,


"මල්ලි මේ සීන් එක කාටවත් කියන්න එපා...."


මමත් කටෙ කෙළ හලන්න ගියේ නෑ ඊට පස්සෙ ඒ සිද්දිය ගැන.


පස්සෙ දවසෙ ඉදල පන්තියට එන හැම කෙනාටම මේ පේපර් එක කරන්න ලැබුන.මේක මොඩල් එකක් කරගෙන එන්න කියල..
හැබැයි මම ඌට නිතරම කියපු එක දෙයක් තිබුන..


"අයියේ මේක මේ එන එන හැම එකාටම දෙන එක නම් එච්චර හොඳ වැඩක් නෙමේ,වැඩෙ ලීක් වුනොත් ඔයගෙ රස්සාව තමා යන්නෙ."

 
හැබැයි මිනිහ ඒ කතාව කනකට ගත්තෙ නෑ.
ඔන්න දැන් මගෙ එක්සෑම් දවසත් ආව,අනිත් අයට වගේම යන්න කලින් මටත් එක උපදෙසක් ලැබුන,


"ෆෝන් එක හංගගෙන පලයන්, ගිහින් පේපර් එකේ ස්නැප් ටිකක් අරගෙන වරෙන්."


සුබපැතුමක් වෙනුවට මට ලැබුන උපදෙස ඔච්චර තමයි.
 

ප.ලි
අර කොල්ල එක්සෑම් එක ඉහලින් පාස් වෙලා තියනව කියල පස්සෙ මට පින් දිදී කතා කලා...


ටික දවසකින් හොඳම හරිය වෙන අන්තිම කොටස...

තුන
Related Posts Plugin for WordPress, Blogger...